ගෙදර අය ඔක්‌කොම බලා ඉඳිද්දී
ගෙහිමි කාන්තාව ටියුබ් ලයිට්‌ එකක්‌
කුඩුකරලා වතුරට දාලා බොන්න කිව්වා

ජෝර්දානයේදී වද හිංසාවලට ලක්‌වූ දේවී මලර් කියයි


කාන්තා විමුක්‌ති සංවිධාන කොච්චර තිබුණත් "දිවයින"
පත්තරේ විතරයි මොකද වුණේ කියලාවත් ඇහැව්වේ


ජෝර්දානයේදී
දස වද වින්ද මොරගොල්ල තරුණියගේ කළුඳු කතාව


වැලිමඩ - අර්ලි දඹදෙණිය

මම ජෝර්දානයට ගියේ අපිටම කියලා පොඩි ගෙයක්‌ හදාගෙන අම්මයි තාත්තයි එක්‌ක නිදහස්‌ ජීවිතයක්‌ ගත කරන්නයි.

එහෙදි මම කිසිම වරදක්‌ කළේ නැහැ. මුලදී මට එහේ භාෂාව බැරි වුණත් මාසෙන් දෙකෙන් ඒකත් ඉගෙන ගත්තා.

මාස දෙක තුනක්‌ ගියාම මම පඩි ඉල්ලූ නිසා තමයි මට මේ අපරාධය කළේ.

දැන් බලන්න මම ලංකාවටත් ඇවිල්ලා සති කීපයක්‌ම ගත වුණා.

කෝ කාන්තාවන්ගේ විමුක්‌තිය ගැන කාන්තා හිංසනයට එරෙහි වන ඒ ගැන කථාකරන සංවිධාන කවුරුවත් නැහැ.

"දිවයින" පත්තරෙන් විතරයි ඇවිල්ලා ඇයි මොකද වුණේ කියලා හරි ඇහැව්වේ. මම කියන්නේ මට මේ අපරාධය කළ ජෝර්දානයේ නිවෙස්‌ හිමියාටත් මා ඔවුන් වෙත යොමුකළ ඒජන්සිකරුටත් නිසි දඬුවම් ලබාදීලා ආබාධිත මට සාධාරණ වන්දි මුදලක්‌ ලබාදෙන ලෙසටයි.

මේ පිළිබඳව විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයෙත් ජෝර්දාන ලංකා තානාපති කාර්යාලයෙත් අවධානය යොමුවිය යුතුයි කියලත් කියන්න වෙනවා. මේ ඉමක්‌ කොනක්‌ අගක්‌ මුලක්‌ නැති චෝදනා යෝජනා වේදනාවන් අපට අසන්නට ලැබුණේ වැලිමඩ මූලික රෝහලේ කාන්තා රෝගී අංශයේදීය.

ඇය නමින් දේවි මලර්යා. 24 හැවිරිදි සුරූපි තරුණියකි. ද්‍රවිඩ වුවද සිංහල තරුණියකට වඩා චතුර ලෙසට සිංහල භාෂාව හසුරුවන්නීය.

වැලිමඩට නුදුරු මොරගොල්ල ඩවුන් සයිඩ් වතුයායේ වතුකම්කරු පවුලක ඉපදී හැදී වැඩුන ඇය කුඩා කල සිටම කටකාරය දඟකාරය.

කිව යුතු දේ කෙලින්ම කියන්නට ඇය නොපැළිකිලි වූවාය.

මම විදේශගත කළේ මරදානේ ආනන්ද රාජකාරුණා මාවතේ දෙවන පටුමගේ අංක 07 දරන ස්‌ථානයේ පිහිටි (අයි. එන්. (1473) ලීඩ්ස්‌ මෑන් පවර් ඒජන්සියෙනුයි.

ඒ සඳහා කිසිම මුදලක්‌ ඔවුන් අය කළේ නැහැ. රට යවන ගාස්‌තු පසුව වැටුප් වලින් අඩුකරගන්නවා කියලා කිසිම දෙයක්‌ කියා තිබුණේ නැහැ.

මට මාසෙකට රුපියල් 24,000/= වැටුප් ගෙවනවා කියලා කිව්වත් මට ගෙව්වේ රුපියල් 10,000/= යි.

මට හිරිහැර කරන්න පටන්ගත්තේ එහේ ගිහිල්ලා සතියක්‌ විතර ගියාට පස්‌සේ ඉඳලයි.

මම මුලින්ම හිතුවේ එහේ වැඩ භාෂාව මට හරියට අල්ල ගන්න බැරිවුණා හින්දා පහර දෙනවා කියලා.

ඒත් මම වැඩත් භාෂාවත් දෙකම හොඳට ටික දිනකින්ම හරි හැටි අල්ල ගත්තා.

ඊට පස්‌සේ පඩි ඉල්ලන කොට තමයි පහර දෙන්නට වුණේ. එතකොට කිව්වා මේ රටේ අයට ආදායම් නැහැ. ඔය ගාන තමයි ගෙවන්න පුළුවන් කියලා 10,000/= දුන්නේ.

ඒ මුදල් අම්මලටයි ගෙදරටයි යෑවුවේ.

මේ ගෙදර හත්දෙනෙක්‌ හිටියා. මට දීලා තිබුණේ උඩු මහලේ තිබුණ කාමරයක්‌.

හැමදාම උදේ පහට ඇහැරිලා රාත්‍රි එක දෙක වෙනකම්ම වැඩ කරන්න ඕනේ. මාසෙකට එක පාරක්‌ ගෙදර අම්මලට කතා කරන්න දුරකථනය දීලා තිබුණා. මම අම්මගෙන් ඇහුවා දැන් මගේ පඩි මාස තුනේම එවලා තියෙනවාද කියලා. එතකොට අම්ම කීවා නැහැ පුතේ තවම රුපියල් 10,000 අපට එවුවේ කියලා.

මම මේ ගැන ගෙහිමියාගෙන් ඇහුවාම මට හොඳටම අල්ලගෙන ගැහුවා. ඒ වගේම ගෙදර අය කාලා ඉතුරුවෙන දෙයක්‌ එක්‌ක සීනියි රොටියි තමයි මට වැඩිපුරම කෑවේ.

ඒක හින්දා මම අම්මට කථා කරන කොට "අම්මේ මම බත් කන්න හරි ආසයි" කියලා කිවුවා.

ඒ එක්‌කම මේ ගෙදර ඉන්න බැහැ මට ගහලා හිරිහැර කරනවා කියලත් කිවුවා. මේ ගේ මාරු කරලා වෙන ගෙයක්‌ හොයලා දෙන්න කියලා. ඒජන්සියටත් තානාපති කාර්යාලයටත් කියන්න කියලත් මම අම්මලට කිව්වා. අම්මල එය ඒජන්සියට කිව්වම ඒජන්සිය ගෙහිමියන්ගෙන් ඇහුවම එදා මට හොඳටම ගැහැව්වා.

කනේ තිබුණු කරාබු දෙකත් කඩලා දැම්මා.

ඒ ළඟපාත කෙනෙක්‌ මාව පොලිසියට ගෙනිහින් දැම්මා.

මම පොලිසියට කිවුවා මේ ගෙදර මට ඉන්න බැහැ. ගහනවා කෑම දෙන්නේ නෑ, මාව වෙන ගෙදරකට හරි ලංකාවට හරි යවන්න කියලා.

එතකොට පොලිසියෙන් කිව්වා එහෙම යන්න දෙන්න බැහැ කියලා ගෙහිමියා ගෙන්නලා මෙයාට අමාරුයි රෝහලකට ගෙන යන්න කියලා කිවුවා.

රෝහලට රැගෙන යනවා කියලා නැවත සිටි ගෙදරටම අරන් ගියා.

එදා ගෙහිමියාට හොඳටම කේන්ති ගිහිල්ලා තිබුණා.

මාව කාමරේකට දාලා දොර වහගෙන හොඳටම අතින් පයින් පහර දුන්නා. මගේ අත පය ඔක්‌කෝම ඉදිමිලා තිබුණේ.

එදා මාත් එක්‌ක ඒ ඒජන්සියෙන්ම ජෝර්දානයට ගිය යාළුවෙක්‌ හිටියා. "නිලූකා" කියලා. එයා හිටපු ගෙදර අය ඇමරිකාවට ගියා නිවාඩුවකට.

ඒ යනකොට "නිලූකා" නතර කළේ මම හිටිය ගෙදරයි.

ඒත් නිලූකා එනකොට මගේ අතපය කඩලා දාලා ඉවරයි.

නිලූකා මගේ ගෙදර අම්මලට දුරකථන ඇමතුම් ලබාදීලා මේ බව කීවා.

අම්මල නැවතත් ඒජන්සියටත් තානාපති කාර්යාලයටත් මේ සියලුම විස්‌තර කියලා තිබුණා.

ඔවුන් ගෙහිමියාට විස්‌තර ඔක්‌කොම කියලා තිබුණා. එදා ඉඳලා ගෙහිමියා විතරක්‌ නොවෙයි ගෙහිමි කාන්තාවත් මට ගහන්න පටන් ගත්තා. එදා මට හොඳටම ගහල ගහල වැඩ කරපන් උඹ ඔය බොරු කරන්නේ කියලා කිව්වා.

දවස්‌ දෙකක්‌ම කෑම දුන්නෙත් නැහැ. ඔළුවට ගහල ගහලා ඔළුව පුපුරන්න වගේ ආවා. මට නැඟිටගන්නවත් බැරි ගානයි. ඒත් වැඩකරපන් කියලා ඇදලා අරන් ආයෙත් ගහනවා. මම කීවා වැඩ කරන්න බෑ මට අමාරුයි රෝහලට ගෙනියන්න කියලා. ඒ පාර ගෙහිමි කාන්තාව කළේ ටියුබ් බල්බ් එකක්‌ කුඩු කරලා වතුරට දාලා ඒක බොන්න කීවා.

ගෙදර කට්‌ටිය ඔක්‌කොම වටවෙලා බලාගෙන හිටියා. මම කෑගහලා කිව්වා මේවා බොන්න බැහැ මම මැරෙයි කියලා. මම බැරිම තැන කකුල් දෙක අල්ලලා වැඳලා කීවා ඕවා බොන්න බැහැ කියලා. ඒත් ගෙහිමි කාන්තාව මට බලෙන්ම ඒවා පෙව්වා.

ඊට පස්‌සේ මම කෑගහලා කිව්වා මාව රෝහලට ගෙනිහින් දාන්න කියලා. මම මැරෙයි කියලා. රෝහල් ගෙනියන්න සල්ලි නැහැ කිව්වා. දවස්‌ දෙකකට පස්‌සේ ගෙහිමියා පෙති හතරක්‌ දුන්නා බඩ විරේක වන්න. ඒවට වතුරවගේ බඩ එලිය ගියා. දැන් මට කිසිම වැඩක්‌ කරන්න බැහැ. ඇඟපත පණ නැහැ. ඒත් වැඩකරපන් කියලා පහර දෙනවා. දෙසැම්බර් 18 වැනිදා හොඳට මතකයි. මට ගහපු පාරකට යටිබඩ මොනවා වුණාද කියලා මතක නැහැ. ගෙහිමි කාන්තාව අසල කාන්තාවක්‌ එක්‌ක කියලා තියෙනවා දේවිට බල්බ් කුඩු වතුර දීලා හොඳටම අමාරුයි කියලා. මේක ඇහිලා තියෙනවා එතන හිටිය නිලූකාට. නිලූකා මේ බව අම්මලට කියලා තියෙනවා. ගෙහිමියාගේ දුරකථනය හොරෙන් අරගෙන. අම්මල ආයෙත් ඒජන්සියටත් තානාපති කාර්යාලයටත් කියලා තියෙනවා. ඒජන්සියෙන් ගෙහිමියාට කියලා තියෙනවා මාව රෝහලකට ගෙන යන්න කියලා. ඒත් රෝහලකට රැගෙන ගියේ නැහැ. මේ බව අපේ ගෙදරට කීවේ මම කියලයි සැක කරලා තිබ්බේ. මම එහෙම දෙයක්‌ කීවේ නැහැ කීවා.

එවිට දුරකථන ඇමතුම් ඔක්‌කොම ගෙහිමියා මුල ඉඳලම පරීක්‍ෂා කළා.

ඒ පාර නිලූකාටත් අල්ලගෙන හොඳටම ගැහුවා. නිලූකා වේදනාව ඉවසාගන්න බැරිව වැසිකිළියට දාන විෂබීජ දියරයක්‌ බිව්වා. නිලූකාටත් හොඳටම අමාරුයි කියලා රෝහලට අරන් ගියත් ඊට පස්‌සේ නිලූකාව දැක්‌කේ නැහැ.

මේ අන්තිම දවසෙත් ගෙදර හිටියේ ගෙහිමියා සමඟ ළමයි තුන්දෙනෙක්‌ විතරයි. එදා මම රෑ වෙනකම් බලා ඉඳලා ඇඟට හුඟක්‌ අමාරු නිසා හොරෙන් පැනලා ආවා තානාපති කාර්යාලයට. ඔවුන් මාව රෝහල්ගත කළා. 26 දිනයි මාව පරීක්‍ෂා කළේ. බඩ ඇතුළේ බෝතල් කටු තියෙනවා කීවා. එක්‌ස්‌රේ පිංතූරත් ගත්තා. වෛද්‍ය සහතිකත් ලිව්වා. එහේ ඔපරේෂන් කරන්න බැහැ ලංකාවට යවන්න කීවා. ඊට පස්‌සේ මට තානාපති කාර්යාලයෙන් මාස දෙකක්‌ම බෙහෙත් අරන් දුන්නා. ඒ වෙලාවේ මම තානාපති කාර්යාලයට ලියුමක්‌ ලියලා දුන්නා මාව පොලිසියට ගෙන යන්න නැතිනම් නඩුදාන්න කියලා. එතකොට ඒජන්සියයි තානාපති කාර්යාලයයි එක්‌වෙලා මගේ හිඟ වැටුප් ඉල්ලා දුන්නෙත් නැහැ. මට ඒ ගේ මාරු කරලා දුන්නෙත් නැහැ.

ඒජන්සියෙන් හැම වේලාවෙම කිව්වේ ඔහොම යන කොට හරියයි කියලයි. කොහොම හරි තානාපති කාර්යාලයෙන් මාව පොලිසියට අරන් ගියා පාස්‌පෝට්‌ ගන්න කියලා. ඒ වෙලාවේ ගෙහිමියාටත් පොලිසියට එන්න කියලා තිබුණා. ගෙහිමියා පොලිසියේ යාළුවෙක්‌ එක්‌ක ඇවිත් සල්ලි වගයක්‌ දීලා මාව යළි ඒ ගෙදරටම රැගෙන ගියා. ඒ වෙලාවෙත් දොරවල් ලොක්‌ කරලා හොඳටම ගහන්න පටන් ගත්තා. මට හුස්‌ම ගන්නවත් බැහැ. මේකත් කියන්නම ඕනේ. එදා කිව්වා මට ඔක්‌කොම ඇඳුම් ගලවන්න කියලා. මම ගැලෙව්වේ නැහැ. ඔය කකුල් දෙකෙන් නේද පැනලා ගියේ කියලා කකුල් දෙකට ගැහැව්වා. ඒ ගහපු පාරකට විසිවෙලා ගිහිල්ලා සීතල වේලාවට පත්තු කරපු ගෑස්‌ ලාම්පුවක්‌ උඩට වැටුණා.

මං ඇඳලා හිටිය කලිසමට ගිනි ඇවිලුනා. ඒක ගලවන්න මම වේදනාවෙන් කෑගැහුවා. ඊට පස්‌සේ මට සිහිය ආවේ රෝහලේදී. මගේ තුනටියෙන් පහළ සේරම පිළිස්‌සිලා විරූපී වෙලා. දෙයියනේ මට වුණ අපරාධයක්‌. මම ආබාධිතයි. නැගිටින්න බැහැ.

මේ බව පොලිසියට කියලා පොලිසියෙනුත් රෝහලට ආවා. ගෙහිමියාත් ආවා. ලංකාවට යන්න ඕනේ නම් මම හිතලාම පුච්චා ගත්තා කියලා කියන්න කීවා. නැතිනම් මරාදාලා මෙහෙ වළදානවා කීවා. එතන හිටිය අක්‌ක කෙනෙක්‌ කීවා නංගි මෙහෙන් ගැලවිලා ඔයා පණ බේරාගෙන ලංකාවට යන්න කියලා.

මං පොලිසියට කීවා මගේ හිඟ වැටුප් හා පාස්‌පෝට්‌ එක ඉල්ලලා දෙන්න කියලා. ඒවා අරන් දෙනවා කිව්වත් පාස්‌පෝට්‌ එක විතරයි දුන්නේ.

ඒ රෝහලේදී බේත් පෙති බිව්වෙත් වැසිකිළි වතුර වලින්. ඒත් එහෙ වෛද්‍යවරු හරි කරුණාවන්තයි. ඔවුන් තමයි අම්මලට දුරකථන පණිවිඩ අරන් දුන්නේ. අම්මලා හුඟක්‌ මහන්සිවෙලා ජනාධිපතිතුමාටත් පැමිණිලි කරලා කොහොම හරි මාව ගෙන්වා ගත්තා. ඒජන්සියෙන් ගෙහිමියාගෙන් මගේ හිඟවැටුප් ඉල්ලා ගත්තත් මට දුන්නේ නැහැ. මාස හයක්‌ වැඩකරලා මාස තුනක පඩි ගන්න තියෙනවා.

මාස හයක්‌ රෝහල්වල ගුටිකාලා ඉඳලා තියෙනවා. එහෙම තමයි අවුරුද්දක්‌ ගෙවිලා තිබුණේ. ඒ වගේම මගේ වෛද්‍ය සහතික එක්‌ස්‌රේ කොපිය ඔක්‌කොම රෝහලේ තබාගත්තා. රෝහල් ගාස්‌තු ගෙවලා ඒවා ඒජන්සිය මගින් අරන් යෑයි කීවා.

එහිදී මගෙන් ලිපියක්‌ ලියා ගත්තා මම කැමැත්තෙන්ම කකුල් දෙක පුච්චාගත්තා කියලා. නැතිනම් ලංකාවට යවන්නේ නැහැ කීවා.

දැන් මං ඇවිල්ලා කෙලින්ම මේ වැලිමඩ මූලික රෝහලට ඇතුළු වුණා. 18 වැනිදා බදුල්ල මහ රෝහලට යවනවා කීවා. මම නම් කියන්නේ ලංකාවේ කිසිම කෙනෙක්‌ ජෝර්දානයට නම් යන්න එපා කියලයි. එහේ මේ වගේ වද විඳින දුක්‌විඳින ලංකාවේ විශාල පිරිසක්‌ ඉන්නවා. හරියට පඩිදෙන්නෙ නැහැ. කන්න දෙන්නෙ නැහැ. නාන්න බොන්න වතුර නැහැ. හරිම බංකොලොත් වෙච්ච රටක්‌ ඒක.

ලංකාවේ අම්ම කෙනෙක්‌ හිටියා අවුරුදු 28 ක්‌ම හිරකරගෙන වැඩගන්නවා. එයාගේ නම ගම දන්නේ නැහැ. දන්නවනම් එයාව බේරගන්න තිබුණා. මම නැවතත් කියන්නේ වගකිවයුත්තෝ, මට සිදුකළ මේ අපරාධයට නිසි දඬුවම් හා මට සාධාරණ වන්දියක්‌ කඩිනමින් ලබාදෙන ලෙසටයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.