ආපස්‌සට  ගත නොහැකි සමාජ පරිහානිය

සියලු දෙනාම එකට එක්‌වී සාරධර්ම පිරි රාජ්‍යයක්‌ බිහි කරමු යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තංගල්ලේදී පැවැති ජනහමුවක කීහයි ඊයේ (02 දා) "දිවයිනේ" මුල් පිටුවේ පළ වී තිබේ. ඒ පිටුවේම ඉහළින් පළ වී ඇත්තේ අතවර කර මරණ ලද හය හැවිරිදි දැරියකගේ මළ සිරුරක්‌ කිරුළපනේ කුණු ඇළෙන් හමු වී ඇති බවය. ඇය කෙළෙසා ඇත්තේ අවුරුදු 16-18 වයස්‌වල නව යෞවනයන් දෙදෙනෙකියි දැනගන්නට ඇත. පොලිසියට හසු වූ කල මේ දෙදෙනාගේ අත පය කඩනු ඇත. මන්ද යත් ස්‌ත්‍රී දූෂණ චෝදනා උදෙසා උසාවියට ඉදිරිපත් කෙරෙන සැකකරුවෝ සාක්‍ෂි මඳකමින් නිදහස්‌ වෙති. මේ නිසා පොලිසිය කල් තියාම තමන්ට හැකි අයුරින් අපරාධකරුවන්ට සත්කාර කරයි. මේ තරුණයන් දෙදෙනා මෙතැනට තල්ලු කරන ලද්දේ කවර බලවේගයක්‌ විසින්ද? හය හැවිරිදි දැරියක්‌ දූෂණය කිරීමට ඔවුන්ට මඟපෙන්වන ලද දර්ශනය කුමක්‌ද? එය ගෝලීකරණයේ ප්‍රතිඵලයක්‌ද? නැත්නම් ලෝකය හතරැස්‌ වීමට සූදානම් බව කියෑවෙන පෙර නිමිත්තක්‌ද?

ඊයේ "දිවයිනේ" මුල් පිටුව බලන විට මේ රට කෙතරම් බියකරු අපරාධ සංස්‌කෘතියක්‌ ඇති රටක්‌ ද යන්න පෙනී යයි. ප්‍රධාන පුවත වන්නේ කාන්තාවක්‌ තවත් කාන්තාවකගේ ගෙල කපා ඝාතනය කළ ආකාරයයි. එය මොහොතකදී හටගත් ආරවුලක ප්‍රතිඵලයකි. මේ පුවත්වලට අමතරව අපරාධවලට සම්බන්ධ සිද්ධි කිහිපයක්‌ම මුල් පිටුවේ ඇත. එය "දිවයිනේ" මුල් පිටුවේ පමණක්‌ නොව හැම පුවත්පතකම තත්ත්වයයි.

"දිවයිනේ" තුන්වැනි පිටුවේ ප්‍රධාන පුවත වන්නේ තලංගම පොලිසිය විසින් කෙරුණු පහරදීමකින් පුද්ගලයකු රෝගියෙක්‌ වූ ආකාරයයි. තලංගම පොලිසියේ රාළහාමිලා ඔහුට පහර දුන්නේ සොරකම් සම්බන්ධයෙන් වරද පිළිගන්නා ලෙස බල කරමිනි. සැකකරු නිරුවත් කර වතුර පිරවූ ප්ලාස්‌ටික්‌ බෝතල්වලින් පහර දීමෙනි. ඔහුට පහර දීමට අදාළ පුවත්පතේ පළ නොවූ කොටස මෙසේයá පොලිස්‌ කූඩුවේ සිටි තවත් සැකකාරයකු එළියට ගත් රාළහාමිලා, දෙදෙනාගේම ශරීරයේ මිරිස්‌ කුඩු තවරා අමානුෂික සහ අව්‍යක්‌ත ලෙස හැසිරෙන ලෙසට බල කරමින් තවදුරටත් පහර දුන්හ. තලංගම පොලිසියේ තිරිසනුන් ගැන පොලිස්‌පතිතුමා විශේෂ අවධානයක්‌ යොමු කළ යුතුය. මේ විධියට පහර කන මිනිහා අවසානයේදී මරාගෙන මැරෙන්නට කල්පනා කරයි. එතැනින් අපරාධකාරයෙක්‌ බිහිවෙයි. තලංගම පොලිසිය අදාළ සොරකමේ පැමිණිලිකරුගෙන් ලොකු ජරාවක්‌ කෑවා විය නොහැකිද? මෙය අපගේ සැකයක්‌ පමණි. පොලිසිය පගා ගැසීම ගැන ප්‍රසිද්ධ ය.

ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයකි. මේ රාජ්‍යය වනසන ලද්දේ දෙමළ ත්‍රස්‌තවාදීන් විසිනි. එක්‌දහස්‌ නවසිය හැත්තෑ හතේ අග කොටසේ සිට 1999 දක්‌වා ප්‍රභාකරන් සහ සගයන් විසින් ඝාතනය කෙරුණ දස දහස්‌ ගණනක පිරිස නිසා ලාංකිකයාට අපරාධ යන සංකල්පය ගැන ගණනක්‌ නැති විය. අනුරාධපුර පූජා නගරයට පහර දී මිනිසුන් මැරීම, බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා කඩුවලින් කපා සංහාරය කිරීම, දළදා මාලිගයට බෝම්බ ගැසීම යනාදිය මගින් ප්‍රභාකරන් සිංහලයන්ගේ හදවත් තුළ කවදාවත් සුව නොවන තුවාලයක්‌ ඇති කළේය. මේ තුවාලයෙන් අදටත් ලේ වැගිරෙයි. ඒ රුධිරය පිස දැමිය නොහැක. අපරාධ යනු එදිනෙදා ජීවිතයේ සංසිද්ධීන් බවට පත්ව තිබේ.

මෙයට අවුරුදු හතළිහකට පමණ පෙර යම් තැනකදී මිනිසකු මරන ලද්දේ නම් එතැන පසුකර යැමට සෙස්‌සෝ බිය වූහ. ඒ සමයේදී දැදුරුඔයෙන් හිස සුන් මළ සිරුරක්‌ හමු විය. එය කාන්තා කවන්ධයකි. මේ සිද්ධිය පුවත්පත්වල පළවීමෙන් පසු ටික දිනක්‌ යනතුරු දැදුරුඔයට බැසීමට, ඔය දෙපස සිටි ජනයා බිය වූහ. මළ සිරුර මතු වූ තැන අවට පිහිටි ගම්වල ගැහැනු හවස හයෙන් පසු ගෙවල්වලින් පිටවීමෙන් වැළකී සිටියහ. මෙයට වසර පනහකට පමණ පෙර අනුරාධපුර - පුත්තලම් පාරේදී ජයලාල් ආනන්ද ගොඩගේ නමැති පාසල් ගුරුවරයෙක්‌ තම ගැබිනි පෙම්වතිය වූ ඇඩ්ලින් විතාරණ මරා දැමීය. ඔහු ඇය මැරුවේ සිය වාහනයට යට කිරීමෙනි. මේ සිද්ධියෙන් සෑහෙන කලක්‌ යනතුරු සවස හයෙන් පසු ඒ පාරේ වාහන ගියේ නැත.

එහෙත් අද ඒ මිනීමැරුම වී නම් වාහන වෙනදාටත් වඩා ඒ පාරේ යන්නේය. ඝාතනය සිදු වූ තැන බැලීමට කොළඹ සිට මිනිස්‌සු විනෝද ගමන් යනවාක්‌ මෙන් යන්නාහ.

මේ රටේ සංස්‌කෘතිය වෙනස්‌ වී ඇත්තේ ඒ පරිද්දෙනි. මෙය යළි ආපස්‌සට ගත නොහැක.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.