ජනරජ ලාංඡනයේ නිර්මාතෘ එස්‌. එම්. සෙනෙවිරත්නගේ අවසන් කටයුතු අද

ශ්‍රී ලංකා ජනරජයේ ලාංඡනය නිර්මාණය කළ හිටපු පුරාවිද්‍යා සහකාර කොමසාරිස්‌වරයකු වන කලාභූෂණ, කලාපති, පුරාවිද්‍යා චක්‍රවර්තී එස්‌. එම්. සෙනෙවිරත්න මහතාගේ අවසන් කටයුතු අද (05 දා) පස්‌වරුවේ බොරැල්ල කනත්තේදී සිදුකෙරේ.

එස්‌. එම්. සෙනෙවිරත්න මහතා ජනරජ ලාංඡනය මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසකම ලාංඡන නිර්මාණය කර ඇත.

සීගිරි බිතු සිතුවම් සංරක්‌ෂණය කිරීමටත්, අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර යුගයේ බිතු සිතුවම් පිටපත් කර ඒවා සංරක්‌ෂණය කිරීමේ විශාල කාර්යභාරයක නිරතවූ අයෙකි. කොළඹ ජාතික කලාභවනයේ පිහිටුවා ඇති ලංකා කලා සංගමයේ දියුණුව සඳහා විශාල මෙහෙවරක්‌ කළ සෙනෙවිරත්න මහතා එහි අනුශාසක, උප සභාපති, ලේකම් ආදී තනතුරු දරා එම සංගමය වෙනුවෙන් විශාල සේවයක්‌ සිදු කළේය.

එම සේවාව වෙනුවෙන් එස්‌. එම්. සෙනෙවිරත්න මහතාට "ලංකා කලා සංගමය" මගින් "කලාපති" සම්මානයද පුද කළේය. ලංකා කලා සංගමය මගින් පවත්වන චිත්‍ර කලා පාසලේ ගුරුවරයකු වශයෙන් කටයුතු කරමින් ද දක්‌ෂ අංකුර ශිල්පීන් රැසක්‌ද දැයට දායාද කළේය.

කාගේත් හොඳ හිත දිනාගෙන ගෞරවයට පාත්‍ර වී සිටි එස්‌. එම්. සෙනෙවිරත්න කලාකරුවා අහිමිවීම ජාතියේම අවාසනාවකි. ඔහුගේ අභාවය නිමිත්තෙන් කොළඹ ජාතික කලාභවනයේ ජාතික කලා සංගමයේ විධායක සභාව, සාමාජික සාමාජිකාවන්, ඒ මහතාගෙන් ඉගෙන ගත් සියලුම සිසුසිසුවියන්ගේ අතිශය සංවේගය එස්‌. එම්. සෙනෙවිරත්න මහතාගේ පවුලේ සැමට පුද කරයි.

ආර්. ඒ. නිමල්

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.