මැතිවරණය නිමවන තෙක්‌ "සසුනට අරුණ"
හෝ මුදල් ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම නතර කරන්නැයි
සජිත්ට හා ක්‍රියාකාරීන්ට රනිල් කියයි


පියසේන දිසානායක

පළාත් සභා මැතිවරණය අවසන් වන තෙක්‌ එම ප්‍රදේශවල "සසුනට අරුණ" හෝ වෙනත් මුදල් හා ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක නොකරන ලෙස එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම පක්‍ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ එම පක්‍ෂයේ සියලු ක්‍රියාකාරීන්ට ඊයේ (05 වැනිදා) පැවැති කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමේදී දැනුම් දීමක්‌ කළේය.

මැතිවරණය පැවැත්වෙන ප්‍රදේශවල මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීමක්‌ වන බැවින් එම කටයුතු මැතිවරණය නොපැවැත්වෙන ප්‍රදේශවල සිදු කරන ලෙස වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇත.

උතුරු මැද, සබරගමුව සහ නැගෙනහිර පළාත් සභා මැතිවරණයට මුහුණදීම සම්බන්ධව ගත යුතු පියවර සොයා බැලීමට කැඳවා තිබූ මෙම කෘත්‍යාධිකාරි මණ්‌ඩල රැස්‌වීම පිටකෝට්‌ටේ සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයේදී නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර නාමයෝජනා මණ්‌ඩලය පත් කිරීම ද එහිදී සිදුවිය.

එක්‌සත් ජාතික පක්‍ෂයේ සියලු දෙනා එකට එක්‌ව පක්‍ෂයේ ප්‍රතිපත්ති රාමුව තුළ සිටිමින් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය දියත් කළ යුතු බව කෘත්‍යාධිකාරි මණ්‌ඩලය තීරණය කර ඇත.

පක්‍ෂය ලබාදී ඇති උපදෙස්‌ පිළිනොගෙන පක්‍ෂයේ ප්‍රතිපත්ති රාමුවට පිටින් යම් මහජන නියෝජිතයෙක්‌ හෝ සංවිධායකවරයෙක්‌ ක්‍රියා කරනවා නම් ඔහු හෝ ඇය පිළිබඳව සාක්‍ෂි සහිතව තමන් වෙත දන්වන ලෙසත් එසේ දැනුම්දීමෙන් පසු එවැනි අයට එරෙහිව දැඩි පියවර ගැනීමට සිදුවන බවත් රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.