සැබෑ සමන් දෙවියෝ සහ සුමන කූටය



පැරණිම සමන් දේවාලය පිහිටියේ ද නැගෙනහිර ලංකාවේ මහියංගනයේ මිස රත්තපුරයේ නොවේ. මීට වසර හත්සීයකට පෙර දෙවන පරාක්‍රමබාහු රජතුමා වර්තමාන සමන්දේවාලය පිහිට වූයේ නැති නම් රත්නපුර සමන්දේවාලය ගැන අද කිසිවෙකු හෝ දන්නේ ද නැත. සමන් දෙවියන් විසූ බව කියන යුගයට අයත් කාලයට අයත් කිසිම ජනාවාසයක්‌, ශිලා ලිපියක්‌, සිද්ධස්‌ථානයක්‌ හෝ වත්මන් ශ්‍රීපාදස්‌ථානය අවටින් හමු වී නොතිබීම පුදුම සහගතය.


ලලීන්ද්‍ර සන්නස්‌ගම

සුමන දිව්‍ය රාජයාගේ ඇරයුමින් ලංකාවට වැඩම කළ බුදුන් වහන්සේ සුමන කූටයේ තම ශ්‍රී පාද සටහනක්‌ ඔබ්බවා තිබේ. වසරකට බැතිමතුන් සිය දහස්‌ ගණනක්‌ වන්දනා කරන එම පූජනීය ස්‌ථානය රත්තපුරය ගිලීමලය අසල පිහිටි සමනල කන්ද ලෙස වරදවා තේරුම් ගෙන සිටියද, නියම ශ්‍රී පාදස්‌ථානය වර්තමාන අම්පාර පානම් පත්තුවේ පිහිටි කුඩුම්බිගල පර්වතය බව ඔබ දන්නෙහිද?

පැරණිම සමන් දේවාලය පිහිටියේ ද නැගෙනහිර ලංකාවේ මහියංගනයේ මිස රත්තපුරයේ නොවේ. මීට වසර හත්සීයකට පෙර දෙවන පරාක්‍රමබාහු රජතුමා වර්තමාන සමන්දේවාලය පිහිට වූයේ නැති නම් රත්නපුර සමන්දේවාලය ගැන අද කිසිවෙකු හෝ දන්නේ ද නැත. සමන් දෙවියන් විසූ බව කියන යුගයට අයත් කාලයට අයත් කිසිම ජනාවාසයක්‌, ශිලා ලිපියක්‌, සිද්ධස්‌ථානයක්‌ හෝ වත්මන් ශ්‍රීපාදස්‌ථානය අවටින් හමු වී නොතිබීම පුදුම සහගතය. මේ නිසා අම්පාර කුඩුම්බිගල ශ්‍රීපාදස්‌ථනය පිළිබ`දව සොයා බැලීම මා තව තවත් දිරිමත් කළේය.

සමන් දෙවියන් වැඩසිටි සමන්ත කූටය මේ වන විට වඩාත් ජනප්‍රිය වී ඇත්තේ ශ්‍රී පාදස්‌ථානය ලෙසය. බුදුන් වහන්සේගේ පාද ලාංජනයක්‌ සමන්ත කූටයේ තැබූ නිසා ශ්‍රී පාදස්‌ථානය ලෙස සමන්ත කූටය හෙවත් ශුමන කූටය ජනප්‍රිය වී තිබෙයි. අනුරාධපුර මුල් යුගයේදී සමන්තකූටය ලෙස වර්ණනා කර ඇති ස්‌ථානය පැරණි මාගම් පත්තුව අවට ස්‌ථානයක්‌ බව වංශකතාවලින් පැහැදිලි වෙයි. එසේම එම වංශකතා වල ශ්‍රී පාදස්‌ථානයක්‌ ගැන සටහන් කර ඇති භූගෝලීය විස්‌තරයට ගැලපෙන පිහිටීමක පිහිටි පර්වතයක ඉපැරණි බ්‍රාහ්මී අක්‌ෂරවලින් 'ශූමණ කූටය' සහ 'පරුමක ශුමණ' යන නම් සහිත ශිලා ලිපි දෙකක්‌ හමු විය. මේ නිසා වංශ කතාවල සඳහන් සුමන කූටය සහ 'ශූමණ කූටය' ශිලා ලිපිය හැඳින්වූ කුඩුම්බිගල එකම ස්‌ථානයක්‌ වීමේ සම්භාවිතාවය ඉහළ අගයක්‌ ගනී.

නියම ශ්‍රී පාදස්‌ථානය අප අනාවරණය කරන්නේ,

1. පැරණිම වංශකතාවල ශ්‍රී පාදස්‌ථානය පිහිටි භූගෝලීය පරිසරය හ`දුනාගැනීම

2. ශිලා ලේඛන හෝ වෙනත් පුරාවිද්‍යා සාධක අනුව ශ්‍රීපාදස්‌ථානය පිළිබ`දව තොරතුරු ගැලපීම

යන ක්‍රම දෙකට කරුණු ගොනු කිරීමෙන්ය.

1. පැරණිම වංශකතාවල ශ්‍රී පාදස්‌ථානය පිහිටි භූගෝලීය පරිසරය හ`දුනාගැනීම

ටොලමිගෙ සිතියම, දීපවංශය, සමන්තපාසාදිකා, සිංහල බෝධි වංශය, සිංහල ථූපවංශය, මහාවංශය, කඩයිම් පොත් යන මූලාශ්‍ර, සියල්ලේම රත්නපුර අසල සමනල කන්ද පිළිබඳ සටහනක්‌ හමුනොවෙයි. නමුත්, රුහුණේ මාගම අසල සමන්ත කූටයක්‌ පිළිබඳ අපූරු තොරතුරක්‌ ඇත. සිංහල බෝධිවංශය මුල්වරට ශ්‍රී පාද සලකුණු කිරීමක්‌ ස`දහන්ය.

''කැළණි ප්‍රදේශයේ මණි අක්‌ත නම් නාග රජුගේ භවනයට වැඩ එතැන්හි ඔහු විසින් මවන ලද සිත්කලු වූ රත්න මණ්‌ඩපයෙහි රම්‍ය වූ රත්න මණ්‌ඩපයේ වැඩ හිඳ දිව්‍ය වූ ආහාර පාන වර්ග වළඳවා නාග මානවිකා සමූහයා විසින් පිරිවරා එතැන්හි ධර්ම දේශනා කර හුනස්‌නෙන් නැගිට සමන්තකූටයෙහි පාද ලාංඡනය දක්‌වා පර්වත ප්‍රාන්තයෙහි දිවා විහරණය කර එයින් වැඩ දිගානක (දීඝවාපී) දාගැබ පිහිටියෑ මනා'' (ගුණවර්ධන, වී. ඩී. එස්‌. (සංස්‌), සිංහල බෝධිවංශය, පි. 159)

සිංහල බෝධිවංශය අනුව, ''කැළණියේ මණි අක්‌ත නා රජුගේ භවනයේ රත්න මණ්‌ඩපයක වැඩ සිටි බදුන් වහන්සේ හුනස්‌නෙන් නැගිට සමන්ත කූටයේ ශ්‍රී පාද සලකුණ තබා ඇත. මෙයින් ගම්  වන වැදගත්ම දෙය වන්නේ කැලණියට ඉතාම ආසන්න තැතක ශ්‍රී පාද සලකුණ තබා ඇති බවයි. සිංහල බෝධි වංශයට අනුව ''කැළණි ප්‍රදේශයේ මණි අක්‌ත නම් නාග රජුගේ මාළිගාව අසලම' තැනක සමන්තකූටය පිහිටා තිබෙන බව කිව යුතුය. එසේම සිංහල බෝධිවංශය පුවත අනුව, කැලණිය සහ දීඝවාපිය අතර දීඝවාපියට ආසන්න තැනක සමත්ත කූටය සහ පිහිටා තිබෙන බව කිව යුතුය. එසේ නම් පැරණි කැලණි රාජ්‍ය පිහිටියේ බස්‌නාහිර පළාතේද? නැගෙනහිර පළාතේ ද යන ගැට`ඵව විස`දිය යුතුය. ටොලමිගේ සිතියම අතීත කැලණිය පිහිටි ස්‌ථානය හ`දුනා ගැනීමට විශේෂ උපකාරයක්‌ විය හැකිය.

බෝධිවංශයට අනුව බුද්ධ කාලයේදී ලංකාවේ නාගදීපයේ හා කැළණියේ නාගරාජ්‍ය දෙකක්‌ තිබී ඇත. මණිඅක්‌ත නා රජුගේ ප්‍රදේශය කැළණියයි. මණිඅක්‌ත රජුගේ කාලයට ඉතාමත් ආසන්න යුගයකදී ග්‍රීක ජාතික ටොලමි අඳින ලද පැරණිම ලංකා සිතියමේද නාග ප්‍රදේශ සළකුණු කර ඇත. එහි නාග ප්‍රදේශ සළකුණු කර ඇත්තේ ගැජෙස්‌නදී (ගංගා නදිය/ මහාවාලි නදියට පහලින් රෙගානගුනොයිවලට (රෝහණයට) අයත් ප්‍රදේශයක මාගමට ඊසාන දිග දිහාවෙනි. එම ස්‌ථානය නගදූබ (Nagadub) සහ නගෙයිරොයි (Nageiroi) නම් එක ලග නාග ප්‍රදේශ දෙකකි. (ධීරානන්ද කල්‍යානවංශ හිමි, ලංකාවේ ඓතිහාසික භූමි සිතියම්. 1987 ) චූලෝදර - මහෝදර නාරජ දෙපල සිහි කරන නාග රාජ්‍ය දෙකක්‌ අතිපැරණි යුගයක ග්‍රීක ජාතිකයෙකුගේ සිතියමට ඇතුළත්ව තිබීම පුදුම සහගතය.

මේ තොරතුර සත්‍ය නම්, චූලෝදර මහෝදර නාරජවරුන්ගේ නාග ප්‍රදේශ දෙකම ඇත්ත වශයෙන්ම ලංකාවේ නැගෙනහිර පළාතට අයත් බව පෙනීයයි. මැණික්‌ ඉල්ලම් ඇත්තේ බස්‌නාහිර පළාතේ නොවේ. නැගෙනහිර ප්‍රදේශයේ මැණික්‌ පමණක්‌ නොව, මැණික්‌කරුවන් පිළිබ`ද තොරතුරු සහිත ශිලා ලිපි පවා හමු වී තිබීම මණිඅක්‌ත නා රජු වර්තමාන බස්‌නාහිර පළාතේ විසූ අයෙකු බව පිළිගැනීම දුෂ්කර තත්ත්වයකට ඇද දමන්නකි. වර්තමාන පොළොන්නරු දිස්‌ත්‍රික්‌කයේ සුංගාවිලට සැතපුම් හයක්‌ දුරින් මින්විල විල්ලුව අසල (එරික්‌ ස්‌වෝන්) අසලින් -මණි අග්ඝික රජමහාවිහාරය නැමැති විහාරයක නමක්‌ සහිත ශිලා ලිපියක්‌ හමු වී ඇත. උක්‌ත ශිලා ලිපියේ,

මණි අග්ඝික රජමහාවිහාරය (එල්ලාවල මේදානන්ද හිමි නැ. ප. හා උ. ප. සිංහල බෞද්ධ උරුමය, 286 පිටුව) ලෙස විහාරයක්‌ හ`දුන්වා ඇත. ලිපියේ අක්‌ෂර ක්‍රි. පූ. දෙවන සියවසට අයත්ය. -මණි අග්ඝික'' නා රජු විසූ යුගයට වසර 400 තරම් ආසන්න පසු කලෙක මේ ශිලා ලිපිය කරවා තිබේ. මේ මණි අග්ඝික නම් රජමහා විහාරයට එම නම වැටුණේ බුදුන්ගේ ලංකා ගමන හා සම්බන්ධ මණිඅග්ගික නැමැති නාග රජු සිහිවීමට විය යුතුය. එසේ නම් පසු කලෙක -මණි අග්ඝික නම යෙදු පන්සලක්‌ එහි හැදුවේ එතුමාගේ පාලන ප්‍රදේශය අයත් ස්‌ථානයක විය යුතුය.

වංසත්තප්පකාසිනී නැමැති මහාවංශ ටීකාවේ රෝහණ රාජ්‍යයට අයත්-කාලායනකණ්‌ණිකා ප්‍රදේශයක්‌ ගැන ස`දහන් ය.

කාලායනකණ්‌ණිකා ප්‍රදේශය සහ කැලණිතිස්‌ස රජුගේ කැලණි ප්‍රදේශය එකම ප්‍රදේශයක්‌ බව මහාචාර්ය අබය ආර්යසිංහ මහතා පෙන්වා දෙයි. එපමණක්‌ නොව, කැලණිතිස්‌ස රජුගේ සහ එම පරපුරේ රජවරුන්ගේ ශිලා ලිපි නැගෙනහිර පළාතෙන් සහ පානම පත්තුවෙන් හමු වීම පදනම් කරගෙන 1972 ශිලා ලේඛන සංග්‍රහයේ පරණවිතාත මහතාද, සිංහල බෞද්ධ උරුමය ග්‍රන්තයේ එල්ලාවල මේදානන්ද හිමියන්ද, කාලායනකණ්‌නිකා හෙවත් කැලණිය පානම පත්තුවේ පිහිටි බව නිරවුල්ව පෙන්වා දෙයි. එපමණක්‌ නොව, මහාවංශ ටීකාවේ ස`දහන් පාෂාණවාපී ප්‍රදේශය වත්මන් පාණම ලෙසත් උන්වහන්සේ පෙන්වා දෙති. අබිශවෙරා හෙවත් විහාර මහාදේවිගේත්, මහතිශ අය හෙවත් කැලණි තිස්‌ස රජුගේත්, ධම රජු හෙවත් කැලණිතිස්‌ස රජුගේ පියාගේ ශිලා ලිපිත් අම්පාර පානම පත්තුව අවටින් පමණක්‌ හමු වී තිබීම නිසා කැලණි තිස්‌ස රජුගේ රාජ්‍ය බටහිර දිග ලංකාවේ නොපිහිටි බව තහවුරු කරන්නකි. එපමණක්‌ද නොව කැලණිය හුදෙක්‌ පරිපාලන ඒකකයකි. රුහුණු රාජ්‍යයට යටත් එක්‌ ප්‍රාදේශීය රාජ්‍යයකි. එහි අගනුවර කතරගම ලෙසත් දත යුතුය.

2 පැරණිම වංශකතාවල ශ්‍රී පාදස්‌ථානය පිහිටි භූගෝලීය පරිසරය හ`දුනාගැනීම පිළිබ`ද නිගමනය,

මේ නිසා මහාවංශ ටීකාව, ටොලමිගේ සිතියම, -මණි අග්ඝික රජමහාවිහාරය' පිළිබ`ද ශිලා ලිපිය, කැලණි රාජ්‍ය පිළිබ`ද පරණවිතාන - අබය ආර්යසිංහ වැනි විද්වතුන්ගේ නිගමන සියල්ලම එකට ගත් විට අතීත කැලණී රාජ්‍ය ලංකාවේ නැගෙනහිර පළතේ අම්පාර පානම පත්තුව අවට ප්‍රදේශය බව නිසැකය. එපමණක්‌ නොව, පානම (කැලණිය) සහ දීඝවාපිය අතර කැලණියට ආසන්න තැනක 'සුමන කූටය' පිහිටා තිබිය යුතුය.

2. ශිලා ලේඛන හෝ වෙනත් පුරාවිද්‍යා සාධක අනුව ශ්‍රි පාදස්‌ථානය පිළිබ`දව තොරතුරු ගැලපීම

පානම පත්තුවේ කුඩුම්බිගල තපෝවනයේ ඇති පර්වතයකද සමන්ත කූටයක්‌ ගැන පුදුම සහගත සටහනක්‌ දැකිය හැකිය. නැගෙනහිර පළාතේ අම්පාර පානම පත්තුවේ කුඩුම්බිගල තපෝවනය තුළ මෙම පර්වතය තිබේ. පානම කුමන මාර්ගයේ 7 - 8 සැතපුම් කණු අතරින් (සැලව එලිය හරහා) සැතපුම් දෙකක දුරක්‌ ගෙවා කුඩුම්බිගලට යා යුතුය. එහි විශාල ගල් පර්වත දෙකක්‌ මුහුදු වෙරළට ආසන්නව ඇත. මෙයින් විශාල පර්වතය බැලුම්ගලයි. එය මත සිලින්ඩරාකාර ස්‌ථූපයකි. ඊට නුදුරින් පිහිටි දෙවන පර්වතය අපගේ කතා නායකයා වූ පරුමක අශි සුමන අනුග්‍රහ කල සමන්ත කූටයයි. ඒ මත කුඩා ස්‌ථූප තුනකි. මේ එහි ඇති බ්‍රාහ්මී ලිපි තුනකි. එයින් දෙකක්‌ මෙසේය,

1. ශුමන කූටෙ ලෙණෙ (සුමනගේ කූටය/පර්වතය)

2. පරුමක අශි ශුමනහ ලෙණෙ ශගශ ( පරුමක අශි ශුමනගේ ලෙණ/ගුහාව )

3. උපශක වෙලශ ලෙණ

(මේධානන්ද හිමි, එල්ලාවල නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය - 2004)

කුඩුම්බිගල ලෙන් පූජා කළ 'පරුමක අශි ශුමන' ඇත්ත වශයෙන්ම මේ ශිඛරයට 'සුමන කූටය' නම පටබැඳීමට හේතු වූ පසුකාලීනව දේවත්වයට නැංවූ පුද්ගලයා විය හැකිය. ශුමනගේ නමට පෙර ඇති 'අශි' නමැති විශේෂණ පදය ආශිර්වාද ලත් යන අරුත ඇති ප්‍රකෘත ගෞරවාර්ථවාදී පදයකි. මේ ශුමන කූටයේ පිහිටීම සහ වංශ කතාවල ශුමන කූටයේ භුගෝලීය විස්‌තරය පැහැදිළිවම සමපාත වෙයි. 'ශුමන කූටෙ ලෙණෙ සහ පරුමක අශි ශුමනහ ලෙණෙ ශගශ' ලිපි දෙකේම ස`දහන් සුමන එකම සුමන කෙනකු විය යුතුය. ලිපි දෙකෙහිම අක්‍ෂර ක්‍රි. පූ. දෙවන සියවස කාවන්තිස්‌ස - දුටුගැමුණු යුගයේ ශිලා ලිපිවලට ඉතාමත් සමානය. මේ නිසා කාවන්තිස්‌ස යුගයේ සිටි ශුමන පසුකාලීනව දේවත්වයට නංවා ඔහු බුද්ධකාලීන පුද්ගලයෙකු ලෙස වංශ කතාවල වැරදි විස්‌තරයක්‌ කර ඇති බව ද සිතිය හැකිය. තෙල ශිලා ලිපියේ සටහන්ව ඇති 'ශුමන කූටේ මේ ලෙස ශිලා ලිපියකින් කිසියම් පර්වතයකට එම නම යෙදූ ආදීතම සහ එකම අවස්‌ථාව බව දත යුතුය. මේ පර්වතයේ ශ්‍රී පාද සටහන සහිත ගල් පුවරුවක්‌ ද තිබී ඇත. පුරාතණ ලංකාවේ රුහුණු රට සැබවින්ම සමන්ත කූටයක්‌ තිබුණේ නම් ඒ වග කිසිම පැරණි පොත පතක නැත්තේ ඇයි ද? යන ගැටලු ඔබට ඇති විය හැකිය. මේ සැකය නැති කරන සු`ඵ තොරතුරක්‌ කඩයිම් පොතක තිබී මට හමු විය

''මාගම් පත්තුවේ තිස්‌ස මහා වෙහෙරය. සමන්තකූට පර්වතය. පිහිටුවා වදාලා වූ දෙසිය දොළහක්‌ මඟුල් ලකුණු ඇති සමන් දෙවියන්ගේ ආරාධනාවෙන් මේ ජම්බුද්වීපයේ සෙන`ග වැද පුදා ගත්තාවූ සමන්ත කූට පර්වතයද යන මෙකී ස්‌ථානද රුහුණු රටට ඇතුළත් වන්නේය.'' (ඒ. ඡේ. ඩබ්. මාරඹේ, ත්‍රී සිංහලේ කඩයිම් සහ විත්ති - 1)

මේ නිසා සුපැදිළිවම කඩයිම් පොතේ දක්‌වා ඇති සමන් දෙවියන්ගේ ආරාධනාවෙන් රුහුණු රට ශ්‍රී පාදය පිහිටුවා ලු සමන්ත පරවතය සහ කුඩුම්බිගල ශ්‍රීපාදස්‌ථානය එකම සිද්ධස්‌ථානයක්‌ බවට භූගෝලීය පිහිටීම පුදුම සහගත ලෙස සමපාත වෙයි. මේ පිළිබඳ නිරවුල් සහ ආන්දෝලනාත්මක අදහසක්‌ ඉදිරිපත් කළ විමල ජයසූරිය මහතා රුහුණු කැළණියේ මහායානිකයන්ගේ ව්‍යාජ ශ්‍රී පතුලක්‌ විස්‌තර කර ඇත.

''මහරහතන් වහන්සේලා වැඩ සිටි දෙවනපෑතිස්‌, දුටුගැමුණු යුගයේ පවා කිසිදු සිංහල බෞද්ධයකු දැන නොසිටි සමනොල ගිර අනුරාධපුර අභයගිරියේ හා කැලණියේ (පානම) පිහිට වූ බුදු සිරිපතුල්, බුදුන් වැඩ සිටි සමහර තැන්ද, පටිධාතු, පාත්‍රා ධාතු හා දන්තධාතූන්හුද මතුබුදු බව පතන බෝසත් වරුද මහායාන බුදු දහමත් සමග ලංකාවේ පහළ වූහ.'' (විමල ජයසූරිය, රුහුණේ අප්‍රකට පුරාවෘත්ත, 75 පිටුව) ජයසුරිය මහතා හඳුනාගත් වැදගත්ම දේ වන්නේ ශ්‍රී පතුල් මහායානිකයන්ගේ පසු කාලීන ප්‍රවාද මිස සැබෑ ඉතිහාස කරුණු නොවන බවයි.

2 ශිලා ලේඛන හෝ වෙනත් පුරාවිද්‍යා සාධක අනුව ශ්‍රීපාදස්‌ථානය පිළිබ`දව තොරතුරු ගැලපීමේ නිගමනය,

භූගෝලීය පිහිටීම අනුව, කඩයිම් පොතේ සහ 'ශූමන කූටය' යන ශිලා ලිපියේ පිහිටීම අනුව, ඉපැරණි වංශකතාවලින් අදහස්‌ කර ඇති සුමනකූටය සහ කුඩුම්බිගල පර්වතය එකම ස්‌ථානයක්‌ විය යුතුය.

එසේනම් සමන් දෙවියෝ යනු කවුද?

මෙම පරුමක ශුමන කාවන්තිස්‌ස, දුටුගැමුණු යුගයට සමකාලීන පුද්ගලයෙකු බව තහවුරු කිරීමට තරම් කරුණු සිංහල ථූපවංශයෙන් සපයාගත හැකිය. එනම් වේළුසුමන උප්පත්ති කතාවේ ඔහුට එම නම දමා ඇත්තේ ගිරිනිල් ජනපද නායක සුමන හා ඔහුගේ මිත්‍ර වේළු නම් පුද්ගලයන් දෙදෙනකුගේ නම් එකතු කිරීමෙනි.

''ගිරිනිල් දනව්වෙහි කෙළඹියගම නම් ගම වසභ නම් කෙළෙඹියක්‌හුගේ පුතෙක්‌ උපන. ඒ දනව්වෙහි වේළුනම් කෙළෙඹි පුත්‍රයෙකු හා සුමන නම් ජනපද නායකයකු හා දෙදෙනා උහු (වසභ) හා මිත්‍රව හිඳිනාහ. සුමන නම් මිත්‍රයා තමන්ගේ වසභ නම් යාළනුවන්ගේ පුතණු කෙනෙක්‌ උපන්නැයි අසා බොහෝ උපකරණ ගෙන්වා ගෙන යාලනුවන්ගේ ගමට අවුත් පුතණුවන් දැක තමාගේ සුමන නම හා (අනෙක්‌) යාළුවාගේ වේළු නම හා එක්‌ කොට වේළුසුමන යයි නම් තබා තමාගේ ගමට ගෙන ගොස්‌ වන.''

( ඩබ්. ඇස්‌. කරුණාරත්න සිංහල ථූපවංශය, 123 - 124 පිටු)

මේ ථූපවංශ ප්‍රවෘත්තිය අනුව වේළුසුමනගේ පියා වූ වසභ ජීවත් වූයේ ගිරිනිල් දනව්වෙහිය. මෙම කඩුම්හලට නුදුරු නීලගරි කන්ද අතීත නිල්ගිරියෙන් ශේෂ වූ නමක්‌ විය හැකිය. එවිට පරුමක අශි ගුමන එකී ජනපද නායකයා වූ වසභගේ මිත්‍ර සුමන විය හැකිය. කුඩුම්බිගල ලිපියක ''උපශක වේලුශ ලෙණෙ'' ලෙස වේලු නම් සුමනගේ මිත්‍රයාගේ නමද හමු විය. මීට අමතරව නන්දිමිත්‍ර යෝධයාගේ සෙල්ලිපියක්‌ද කුඩුම්බිගලින් හමුවීම නිසා වේළුසුමන නන්දිමිත්‍රට සමකාලීනව ලෙන් ලිපි ලියූ පරුමක සුමන සහ උපශක වේලු ථූපවංශ පුවතේ සඳහන් සුමන සහ වේළු දෙමිතුරෝම විය හැකිය. සිංහල ථූපවංශය අනුව, සුමන ජනපද නායකයෙකි. මේ වේළු හා සුමන නිතර එකට කටයුතු කළ බව පෙනී යයි. එලෙස ශුමන හා වේලු නන්දිමිත්‍රට සමකාලීන වන්නේ නම් ඔවුන් ගිරිනිල් දනව්ව අවට සිටි වේළුසුමනගේ පියා ගේ (කෙළඹියගම, වසභ) මිතුරන් දෙදෙනාය. මේ අනුව ථූපවංශයේ වේළුසුමන කතාවේ සදහන් ජනපදනායක සුමන හා කුඩුම්බිගල ශිලා ලිපියක ස`දහන් 'පරුමක ශුමන' එක්‌ අයෙකි. ථූපවංශයේ නන්දිමිත්‍රගේ පියාගේ මිතුරෙකු වූ වේ`ඵ සහ කුඩුම්බිගල ශිලා ලිපියක ස`දහන් 'උපශක වේ`ඵ' එක්‌ අයෙකි. අනෙක්‌ අතට, කුඩුම්බිගල ලිපියක නන්දිමිත්‍ර යෝධයා හඳුනාගෙන ඇති නිසා එම ලෙන් ආශ්‍රිත පරුමක ශුමන හා උපශක වේලුශ නන්දිමිත්‍රට සමකාලීන විය යුතුය.

එපමණක්‌ නොව, පසුකාලීනව දේවත්වයට නැංවූ 'පරුමක ශුමනගේ' ඓතිහාසික තොරතුරු රැසක්‌ම ශිලා ලිපි මගින් අනාවරණය වී ඇත. 'ශුමන කූටෙ' හෙවත් සුමන කුටය හා සම්බන්ධ 'පරුමක අශි ශුමණ' එක්‌තරා යුගයක අති ගෞරවනීය පුද්ගලයෙකු බව නිසැකවම කිව හැකිය. මේ කියන 'පරුමක අශි ශුමණ' ගේ බව නිහ්චිතවම කිව හැකි ශිලා ලිපි ගණනාවක්‌ම රුහුණු රාජධානිය පුරා ස්‌ථාන ගණනාවකින්ම හඳුනාගෙන ඇත.

පියංගල ලිපි,

1. පරුමක මිත පුත පරුමක දුත ශුමන හ ලෙණෙ (පරුමක මිත්‍රගේ පුත් පරුමක සුමන දූතයා)

2. පරුමක දූත ශුමන පුත පරුමක අභය ලෙණෙ (පරුමක සුමන දූතයාගේ පුත් පරුමක අබය)

3. පරුමක ශුමන ලෙණෙ (පරුමක සුමනගේ ලෙණ)

4. දෙවනපිය මහරජ ගමිණි අබය හ ජිත පරුමක දූත ශුමන හ ජිය ලඤක ලෙණෙ

(දෙවනපිය මහරජ ගමිණි අබයගේ බිරිද වූත් පරුමක දූත ශුමනගේ දියණිය වූත්, ලජකාගේ ලෙණ)

(මෙම සෙල්ලිපි උපුටා ගන්නේ එල්ලාවල මේධානන්ද හිමියන්ගේ උතුරු පළාත හා නැගෙනහිර පළාත් සිංහල බෞද්ධ උරුමය පොතෙනි. 424 - 438 පිටු) පියංගල ලිපියේ සඳහන් වන දෙවනපිය මහරජ ගමිණි අබය දුටුගැමුණු රජතුමා ලෙස එල්ලාවල මේධානන්ද හිමියන් නිවරැදිව හඳුනාගෙන ඇති සේක. එබැවින් පරුමක දූත ශුමනගේ දියණිය වූ ලජකා දුටුගැමුණු රජුගේ බිසවකි. එය සැබෑවක්‌ වන කල්හි, පරුමක දූත සුමන යනු කාවන්තිස්‌ස රජුට සමකාලීන දූතසේවා භාර නිලධාරියෙකි.

එබැවින්, පරුමක සුමන දූතසේවා භාර වැදගත් තනතුරක්‌ දැරූ රාජ්‍ය නිළධාරියෙකි. ධාතුවංශයේද 'කාක' නැමැති ඉංදීය භාෂාවකින් සන්නිවේදනය කළ කාවන්තිස්‌ස රජුගේ රහස්‌ පණිවිඩ සේවාවක්‌ ගැන තොරතුරු ඇත. සමහර විට එම රහස්‌ චරපුරුෂ සේවාව මෙහෙයවන ලද පුද්ගලයා පරුමක සුමන විය හැකිය. පිංගල ලිපි අනුව, පරුමක සුමනගේ පියා පරුමක මිත්‍ර නැමැ'ති අයෙකි. එසේම පරුමක සුමනගේ පුත්‍රයා පරුමක අබය නැමත්තෙකි. තවද පරුමක සුමනගේ දියණිය, ලජකා යනු දුටුගැමුණු රජුගේ බිසවකි. මේ නිසා පරුමක සුමන දුටුගැමුණු රජුට නෑකම් ඇති තත්කාලීන යුගයේ අධිපතියෙකු බව නිසැකය. එළාරට එරෙහි යුද්ධයේදී දූතසේවා කටයුතු වල රහස්‍ය භාවය සහ විශ්වසනීයත්වය පදනම්කරගෙන ලජකා විවාහ කරගන ඇති බව තත්කාලීන දේශපාලන අවශ්‍යතා විමසීමෙන් පෙනීයයි.

මීට අමතරව ද කිරලාන, කිරි පොකුණු හෙල, වෙහෙරගල, හිම්දුරාව, ඉලුක්‌පිටි කන්ද, මුල්ලිකුම්මලේ, මියුගුණ හෙවත් පුළුකුණාව ආදී ස්‌ථාන ගණනාවකම 'පරුමක අශි ශුමණ' නැමැති පුද්ගලයෙකුගේ නම ස`දහන් ශිලා ලිපි ගණනාවක්‌ම ඇත. ඒ ලිපිවල අක්‌ෂර සහ රූප සමකාලීන නිසා 'පරුමක අශි ශුමණ, පරුමක දූත ශුමන, පරුමක ශුමන' ආදී විවිධාකාරයෙන් හඳුන්වා ඇත්තේ එකම සුමන කෙනකු බව සිතිය හැකිය. සමන් දෙවියා කේෂධාතු නිධන්කර තැන වූ මියුගුණ සෑයද ගිනිකොණදිග ලංකාවේ පිහිටි නිසාත් පැරණිම සමන් දේවාලය පවා මහියංගනයේ පිහිටි නිසාත් සමන් දෙවියන් සබරගමුවේ විසූ අයෙකු නොවන බව තහවුරු වන තවත් සාධක දෙකකි. නූතන සමන්තුරේට එම නාමය ලැබුණේද සමන් දෙවියන් ඇසුරින් විය හැකිය.

අවසන් නිගමනය,

පසුකාලීනව සුමන සමන් දෙවියා ලෙස දේවත්වයට පත්ව ඇත්තේ දුටුගැමුණු රජුගේ දූතසේවා භාරව සිටි නිලධාරියෙකු වූ පරුමක ශුමන බව දත යුතුය. එසේම මේ කියන පරුමක දූත ශුමණ හෙවත් පරුමක අශි ශුමන සමකාලීන යුගයේ රාජකීයන්ගේ ගරුබුහුමන් ලැබූ අයෙකි. පරුමක අශි ශුමනගේ මරණයෙන් පසුව ඔහු ශූමන කූටය අවට දෙවියෙකු ලෙස ඉපදී ඇති ජනප්‍රවාදයක්‌ ජනප්‍රිය වී සමන් දෙවියා නැමැති ප්‍රවාදය පහළ වී ඇති බව සිතිය හැකිය. ඉපැරණි වංශ කතාවල සඳහන් වන සමත්ත කූටය, කැලණිය සහ දීඝවාපිය අතර දීඝවාපියට ආසන්න අඩි තුන්සීයක්‌ පමණ උසකින් යුත් කුඩුම්බිගල බව දත යුතුය. එසේම ඉපැරණි වංශ කතාවල කියවෙන කැළණිය ලංකාවේ නැගෙනහිර පළාතේ පානම පත්තුව මිස, බස්‌නාහිර පළාතේ පිහිටි ස්‌ථානයක්‌ නොවේ. නියම වත්මන් කැලණිය අනුරාධපුර අගභාගයේදී ජනප්‍රිය වූවක්‌ මිස ඉපැරණි වංශ කතාවල සඳහන් වන නියම කැළණිය නොවන බවට විධිමත්ව සනාථ වන කරුණකි. බුදුන් වහන්සේගේ පාද ලාංඡනයක්‌ සමන්ත කූටයේ තැබූ නිසා ශ්‍රී පාදස්‌ථානය ලෙස සමන්ත කූටය හෙවත් ශුමන කූටය ජනප්‍රිය වී තිබෙයි. නියම සමන්ත කූටය හෙවත්, ශ්‍රී පාදස්‌ථානය අම්පාර පානම පත්තුවේ පිහිටි කුඩුම්බිගල නිසා වර්තමානයේ දී අප වන්දනා කරන ස්‌ථානය ශ්‍රී පාදස්‌ථානය නොවන බව දත යුතුය.

පසු සටහන,

සමනල කන්ද අඩි 7360 උස ලංකාවේ හතරවන උස කන්දයි. රට පුරා පෙනෙන මෙම සුන්දර ශිඛරයට ශ්‍රී පාද නාමය ආරෝපණය වූයේ අනුරාධපුර පරිහානියෙන් පසුවය. (ඊට පෙර ශ්‍රී පාදය හා බැ»න රජුගේ කතා අදාළ වන්නේ රුහුණේ ශ්‍රී පාදයටයි.) පොළොන්නරු යුගයේ 1 විජයබාහු, පරාක්‍රමබාහු, නිශ්ශංකමල්ල වැනි ප්‍රබල රජවරු මෙම සබරගමු ශ්‍රී පාදය වන්දනා කර පහසුකම් සලකා වැඩි දියුණු කර ඇත. අද පවතින තත්ත්වයට ශ්‍රී පාදය සකස්‌ වූයේ දඹදෙණිය යුගයේදීය. ඒ අනුව ක්‍රි. ව. 13 වන සියවසේ දී 2 වන පරාක්‍රමබාහු රජු සබරගමුවේ මැණික්‌ කැණීම් කර ඇත. එය භාරව සිටියේ ආර්ය කාමදේව නැමැති ද්‍රවිඩ ඇමතියෙකි. හෙතෙම අගනා මැණික්‌ ඉල්ලම් සොයාගෙන ඇත. ඒවායින් ගොඩට ගත් මැණික්‌ නිධාන කෙරේ පැහැදුන රජතුමා රුහුණට අධිපති සුමන සමන් දෙවියන්ට දේවාලයක්‌ හැදීමට කටයුතු කර ඇත. (අතීත රුහුණට සබරගමුවද අයත්ය.) ආර්ය කාමදේව ඇමතියා මෙලෙස සබරගමු මහ සමන් දේවාලය තනා එහි නඩත්තුවට (තේවා කටයුතු හා පෙරහැර සඳහා) ගම්බිම් පූජා කළ බව එයට පිදූ රිදී සන්නසින් කියවෙයි. ඒ අනුව 2 පරාක්‍රමබාහු රජු මහසමන් දේවාලයට පූජාකළ එක්‌ ගමක්‌ වන්නේ රත්නපුර - පැල්මඩුල්ල අතර පිහිටි සන්නස්‌ගමයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.