නව නිපැයුම් 1033 ක්‌ සොයාගත් බිහිරි විද්‍යාඥයා
තෝමස්‌ අල්වා එඩිසන්


ලොව වැඩිම විද්‍යාත්මක නව නිපැයුම් සොයාගත් එකම විද්‍යාඥයා ඔහුය. එය ගණනින් 1033 කි. කුරුල්ලන්ට බෙහෙවින්ම ආදරය කළ විද්‍යාඥයා ද ඔහු විය. 5000 කට අධික කුරුලු ගහනයක්‌ සතු වූ අතර යෝධ දැවැන්ත කුරුලු කූඩුවක්‌ ද ඔහු ඉදි කළේය. ඔහු පත්තර වික්‌කේය. දුම්රිය මැදිරි දිගේ යමින් "පත්තර පත්තර" කියා කෑගසමින් ඔහු දවසේ වැඩ පටන් ගත්තේය. අනතුරුව රසකැවිලි දුම්රිය මගීන්ට අලෙවි කළේය.

වම් කණ හා දකුණු කණ සම්පූර්ණයෙන්ම බිහිරි වූ එකම විද්‍යාඥයා ද ඔහු විය. ඔහු වඩාත් වේදනා වින්දෙත් දුකට පත්වූයේත් එක්‌ දෙයක්‌ නිසාය. එනම් කුරුලු නාදය - කුරුලු ගීත ඇසීමට නොහැකි වූ බැවිනි.

තෝමස්‌ අල්වා එඩිසන් වර්ෂ 1847 පෙබරවාරි මාසයේ 11 දා ඇමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ මිලාන් නුවර උපත ලැබීය. එඩිසන්ගේ පියා සැමුවෙල් එඩිසන් වූ අතර මව පාසල් ගුරුවරියක වූ නැන්සිය. එහෙත් එඩිසන් පාසල් ගියේ මාස 3 ක්‌ වැනි කෙටිම කෙටි කාලයකි. එයට හේතුව ඔහු ගුරුවරුන්ගෙන් නිරන්තරව ප්‍රශ්න ඇසීමය. අතික්‍රියාශීලී දරුවකු වූ එඩිසන්ගේ මෙම ක්‍රියාවලිය නිසා ගුරුවරු තුළ හටගෙන තිබුණේ අසීමිත කෝපයකි.

මෙම තත්ත්වය නිසා ගුරුවරියක වූ ඔහුගේ මව වහාම පාසලෙන් අස්‌කරවාගෙන නිවසේදී ඔහුට ලිවීම කියවීම ගණිතය හා බයිබලය කියා දුන්නීය.

වයස අවුරුදු 11 වන විට එඩිසන්ට කියවීමේ ඉමහත් පිපාසයක්‌ ඇති විය. ඔහු තමාට ලැබුණ සෑම කෘතියක්‌ම මහත් ඇල්මෙන් උනන්දුවෙන් කියවන්නට පටන් ගත්තේය. විශේෂයෙන්ම භෞතික විද්‍යාවට අයත් සංකල්ප කෙරෙහි ඔහු වඩ වඩාත් උනන්දු වන්නට විය.

වයස අවුරුදු 12-13 වන විට ඔහු දුම්රිය ස්‌ථානයක වෙළෙන්දෙක්‌ බවට පත්විය. පත්තර, රසකැවිලි, පලතුරු, එළවළු, සිසිල් බීම ඔහුගේ වෙළෙඳ භාණ්‌ඩ වූයේය. ඔහුගේ පරීක්‍ෂණාගාරය වූයේ අබලන් නිසා අතහැර දැමූ දුම්රිය පෙට්‌ටියක්‌ය. ඔහු මේ තුළ සිට විවිධ අත්හදා බැලීම් කරන අතර බොහෝ ජනයා ඔහු දෙස බැලුවේ උපහාසාත්මකවය. සමහරුන් ඔහුගේ මූණටම කියාපෑවේ "මොකද විද්‍යාඥයෙක්‌ වෙන්නද හදන්නේ?" යනුවෙනි. මේ අපහාස උපහාස සමච්චල් එඩිසන්ගේ දිරිය හීන කිරීමට හෝ වෙනස්‌ කිරීමට සමත් වූයේ නැත. එඩිසන් දුම්රිය මැදිරියේ අබලන් බව පවා නොතකා සිය රසායනික පරීක්‍ෂණ නොමඳව මහත් සතුටින් යුතුව කරගෙන ගියේය.

එහෙත් එක්‌ දිනක්‌ ඔහු පරීක්‍ෂණ කරමින් සිටියදී පොස්‌පරස්‌ අඩංගු බෝතලයක්‌ පිපිරීම නිසා මුළු දුම්රිය පෙට්‌ටියම එකම ගිනි ජාලාවක්‌ බවට පත්වුණි. මේ සිද්ධියෙන් කෝපයට මෙන්ම නොසන්සුන් වූ එම දුම්රිය ස්‌ථානයේ ස්‌ථානාධිපතිවරයා එඩිසන්ට කනේ පහරක්‌ ගැසීය. ඔහුගේ දකුණු කණ බිහිරි වූයේ ඒ නිසාය.

එහෙත් මෙහිදී කිසියම් දෛවෝපගත සිද්ධියක්‌ ද සිදුවිය. එඩිසන් සුපුරුදු පරිදි පත්තර විකුණමින් සිටියි. දුම්රිය ස්‌ථානය අතුරු සිදුරු නැතිව ජනයාගෙන් පිරී පවතී. දුම්රිය පාර මත සෙල්ලම් කරමින් සිටින කුඩා ළමයෙකි. ඔහු දෙසට වේගයෙන් දුම්රියක්‌ ධාවනය වනු එඩිසන්ට පෙනේ. තම ජීවිතය ගැන ද නොසලකා එඩිසන් රේල් පාරට පැන අර කෙළිසෙල්ලම් යෙදුණ කුඩා දරුවා බේරාගත්තේ ඔහුගේ දිවිය අවසන් වීමට ඔන්න මෙන්න තිබියදීය. මේ දරුවා නම් එදා තමාට කණ බිහිරිවීමට පහර දුන් දුම්රිය ස්‌ථානාධිපතිවරයාගේ පුත්‍රයාය. මෙම සිද්ධියට පසු දුම්රිය ස්‌ථානාධිපති එඩිසන්ට ඉමහත් ලෙස කෘතවේදී විය. මෝර්ස්‌ කේත ක්‍රමය හා ටෙලිග්‍රාෆ් යන්ත්‍රය භාවිත කරන අයුරු ඔහු ඉතා උනන්දුවෙන් එඩිසන්ට ඉගැන්වීය.

එම නිසා පසු කලෙක එඩිසන්ට දුම්රිය සමාගමක ටෙලිග්‍රාෆ් ක්‍රියාකරවන්නකු ලෙස රැකියාවක්‌ ලැබිණි.

වයස අවුරුදු 21 දී එඩිසන් තමාගේ ප්‍රථම සොයාගැනීම වූ විදුලි බලයෙන් ක්‍රියා කරන ඡන්ද ගණන් කිරීමේ යන්ත්‍රය නිපදවීය. එහෙත් මෙය තම ප්‍රථම ස්‌ව සොයාගැනීම වුවත් එඩිසන්ට ගෙන ආවේ අවාසනාවකි. ඔහු මෙය මැසවුසෙට්‌ස්‌ ව්‍යවස්‌ථාදායක සංගමයට අලෙවි කිරීමට උත්සාහ කළ විට ඔවුන් කීවේ එකම දෙයකි. එනම් "මේක තමයි අපට ඕනෑ නැති එකම දෙය" යන්නයි.

එහෙත් එඩිසන්ගේ දිරිය හෝ මානසික ඒකාග්‍රතාවය සවිමත් එකක්‌ විය. ඔහු මෙසේ කියා ඇත.

"මිනිසුන්ට අනවශ්‍ය කිසි දෙයක්‌ නව නිපැයුමක්‌ ලෙස ඉදිරිපත් නොකරමි." මේ කාලයේ ඔහු අධික ණය බරින් මිරිකී බොහෝ සේ රළු කටුක ජීවිතයක්‌ ගත කළේය. එහෙත් අත්හදාබැලීම් කිරීම පෙර සේම කරන ලදී. වර්ෂ 1876 දී මෙම නව ජීවයකින් උදම් වී නිව් ජර්සි නගරයේ මෙන්ලෝ පාර්ක්‌ හි නව විද්‍යාගාරයක්‌ ගොඩනගා එහි සිට සිය නව පර්යේෂණ කටයුතු ආරම්භ කළේය. ඒ අනුව ප්‍රථම හඬ ධාවන යන්ත්‍රය වර්ෂ 1877 දී නිපදවන ලදී. තාප දීප්ත විදුලි බල්බය නිපදවීම එඩිසන්ගේ විශිෂ්ට සොයාගැනීමක්‌ විය. මෙය වාණිජමය වශයෙන් අති සාර්ථක නිමැවුමක්‌ වූ අතර විදුලි ධාරා බෙදාහැරීමේ පද්ධතීන් සඳහා ප්‍රථම විදුලි ජනක යන්ත්‍රය ද නිපදවීය.

1880 වන විට මෙන්ලෝ පාර්ක්‌ හි ප්‍රථම තාප දීප්ත විදුලි බල්බ කර්මාන්ත ශාලාව ආරම්භ කළ අතර එම වසරේදීම චුම්බක යපස්‌ වෙන් කිරීමේ යන්ත්‍රයක්‌ ද නිපදවනු ලැබීය. 1891 වන විට චලන චිත්‍ර කැමරාව නිපදවා ඊට පේටන්ට්‌ බලපත්‍රය ද ලබාගත්තේය.

දිය යට කිමිදුම් පහන ගුවන් යානා පරීක්‍ෂකයා දැල් ආධාරයෙන් ටෝර්පිඩො ප්‍රහාර වැළැක්‌වීම ශබ්දය අනුසාරයෙන් තුවක්‌කු ස්‌ථාන ගතකොට ඇති තැන් හඳුනාගැනීම ශබ්දය අනුසාරයෙන් චලනය වන යාත්‍රා අතුරින් සබ්මැරීන් නිවැරැදිව හඳුනාගැනීම ආදිය ඔහු නිතර නිතර පරීක්‍ෂණ කොට ලොවට ප්‍රදානය කළේය.

1871 මාරී ස්‌ටීල්වෙල් නම් තරුණිය සමඟ විවාහ වූ එඩිසන් දෙදරු පියෙක්‌ විය.

1877 කිසියම් දිනක ඔහුගේ ප්‍රධාන ගෝලයා වූ ජෝන් ක්‍රැයිසිට කිසියම් යන්ත්‍රයක කටුසටහනක්‌ පෙන්වීය. මෙය කතා කරන මැෂිමක්‌ ඔහු ගෝලයාට කීය. යන්ත්‍රය නිසි පරිදි නිමවා එඩිසන් ළමා ගීතයක්‌ ගායනා කළේය. නැවත යන්ත්‍රය ක්‍රියාත්මක කරන විට එම ගීය ඇසෙන්නට විය. එඩිසන් කතා කරන මැෂිමක්‌ හැදූ පුවත මුළු නිව් ජර්සි නුවර ප්‍රචාරය වුණි. නගර වැසියෝ මෙන් ලෝ පාක්‌ විද්‍යාගාරයට රංචු පිටින් පැමිණියහ.

එක්‌ සාදයකදී එක්‌තරා පුද්ගලයෙක්‌ එඩිසන්ව හඳුන්වා දෙමින් "මේ තමයි ලෝකයේ කතා කිරීමේ මැෂිම හැදූ එඩිසන් මහත්තයා" කීය. එවිට එඩිසන් කීවේ "ලෝකයේ පළමුවන කතා කරන මැෂිම හැදුවේ දෙවියන් වහන්සේ මං හැදුවේ අවශ්‍ය වේලාවට නතර කරන්න පුළුවන් මැෂිමක්‌ විතරයි" නිහතමානීව පැවසීය.

"මෙන්ලෝපාර්ක්‌ හි මායාකාරයා" "විද්යුත් යුගයේ පීතෘවරයා" "මෙතෙක්‌ ලොව බිහි වූ ශ්‍රේෂ්ඨ නව නිපැයුම්කරුවා" ආදී වශයෙන් ඔහුට ආරූඪ නම් ගණනාවක්‌ විය.

1931 ඔක්‌තෝබර් 18 වැනිදා එඩිසන් සදහටම දෙනෙත් පියා ගත්තේය. එවිට ඔහු 84 වියේ පසුවිණි.

එඩිසන්ට ගෞරව කිරීමක්‌ වශයෙන් ඔහුගේ රසායනාගාරය පිහිටි මෙන්ලෝ උද්‍යානය වර්තමානයේ කෞතුකාගාරයක්‌ බවට පත්කොට ඇත. ජර්සි නුවර අඩි 131 ක්‌ උස ඔහුගේ ස්‌මාරකයක්‌ ඉදිකොට ඔහු සොයාගත් නව නිපැයුම්වල නාම එහි සඳහන් කර ඇත. 999 වතාවක්‌ අසාර්ථක වී විදුලි බල්බය සොයාගත් මේ මහා විද්‍යාඥයා පිළිබඳ කතා පුවත පරපුරෙන් පරපුරට ජීව මන්ත්‍රයක්‌ විය යුතුය.

ප්‍රේමදාස රොඩ්රිගෝ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.