මුස්‌ලිම් කොංග්‍රසයේ අර්බුදය උග්‍ර වේ
තොණ්‌ඩමන්,රාධක්‍රිෂ්ණන්,මනෝ එක්‌ව ඡන්ද සටනට


රනිල් ධර්මසේන

ඉදිරි පළාත් සභා මැතිවරණයේදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයත් සමඟ එක්‌ව තරග කිරීමට ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය තීරණය කිරීමත් සමඟ එම කොංග්‍රසයේ අර්බුදය උග්‍ර වී ඇතැයි පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මේ නිසා මෙම අර්බුදය සමථයකට පත්කිරීම සඳහා අද (16 වැනිදා) පෙරවරුවේදී පක්‍ෂයේ උත්තරීතර මණ්‌ඩලයේ හදිසි රැස්‌වීමක්‌ ද කැඳවා තිබේ.

ආණ්‌ඩුව සමඟ එක්‌ වී තරග කිරීමට නම් පළාත් මහ ඇමැති අපේක්‍ෂක ධුරය පක්‍ෂයට ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්‌ රජයට ඉදිරිපත් කළ නමුත් අවසානයේදී මහ ඇමැති ධුරය ඇතුළු එහි වැදගත් ඉල්ලීම් කිහිපයක්‌ නොමැතිව අවබෝධතා ගිවිසුමකට පක්‍ෂය අත්සන් කිරීමට සූදානම් වීම මෙම අර්බුදය වැඩි වීමට හේතු වී ඇතැයි ද වාර්තා වේ. මේ නිසා පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින් ගිවිසුමට අත්සන් කිරීම ද ප්‍රතික්‍ෂේප කර ඇතැයි එම කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ පැවසීය. අද පැවැත්වෙන රැස්‌වීමේදී කෙසේ හෝ පක්‍ෂය එකඟතාවකට පැමිණ ඉන්පසුව එ.ජ.නි.ස.ය සමඟ අවබෝධතා ගිවිසුම අත්සන් කරන බව ද හෙතෙම කීය.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය සමඟ තරග කිරීමේදී කොංග්‍රසයට ලැබෙනුයේ නැගෙනහිර පළාත් සභාවට අපේක්‍ෂක ධුර 12 ක්‌ පමණක්‌ යෑයි ද මේ නිසා මැතිවරණයට තරග කිරීමට සූදානම්ව සිටි විශාල පිරිසක්‌ වෙනත් පක්‍ෂ වෙත යැමේ අවදානමක්‌ මතු වී ඇතැයි ද හෙතෙම කීය.

මුස්‌ලිම් කොංග්‍රසයට අම්පාරෙන් අපේක්‍ෂකයන් 06 ක්‌ ද මඩකලපුව හා ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කවලට අපේක්‍ෂකයන් 03 බැගින් ද හිමි වී ඇති අතර ඔවුන්ගේ සම්මුඛ පරීක්‍ෂණ පසුගිය 14 හා 15 දිනවල පවත්වා තිබේ.

මේ අතර ආණ්‌ඩුවේ පක්‍ෂයක්‌ වන ලංකා කම්කරු කොංග්‍රසයත් කඳුරට ජනතා පෙරමුණත් මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණත් එක්‌ව පොදු ලැයිස්‌තුවකින් සබරගමුව පළාත් සභාවට තරග කිරීමට තීරණය කර ඇත. ඔවුන් ලංකා කම්කරු කොංග්‍රසයේ කුකුළා ලාංඡනය යටතේ තරග කිරීමට නියමිතය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.