ජයලලිතා  හෙළා දකිමු

ඉන්දියාව, ශ්‍රී ලංකාව ඉදිරිපිටදී මීයකු ලෙස නොව කොටියකු ලෙස හැසිරිය යුතු බව තමිල්නාඩුවේ මහ ඇමැතිතුමිය වන ජයලලිතා ජයරාම් මහත්මිය දැනුම් දී තිබේ. තමිල්නාඩුවේ "සූකිරි" චිත්‍රපට කලාවේ විශ්‍රාමික රැජින වූ ඇය කාලයෙන් කාලයට වෙස්‌ පෙරළා ගනී. මෙයට වසර කිහිපයකට පෙර ඇය සිටියේ කොටින්ට පක්‍ෂවය. ඉන්පසු ඔවුනට විරුද්ධවය. ඉන් පසු යළි පක්‍ෂවය. ඉන්පසු නැවතත් විරුද්ධවය. මෙකල ඇගේ ප්‍රතිපත්තිය කොටින්ට පක්‍ෂ ය. මන්ද මේ මොහොතේ තමිල්නාඩු දේශපාලනයේ ජනප්‍රියතම අංගය වන්නේ ශ්‍රී ලංකාවට විරුද්ධ, දෙමළ කොටින්ට පක්‍ෂ මතවාදයකි. තමිල්නාඩු දේශපාලනඥයන් මේ මතවාදය වඩාත් සාධාරණ කර පෙන්වනු පිණිස තමන් හඬ නගන්නේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් යෑයි කියති. ශ්‍රී ලංකාවේ වෙසෙන දෙමළ ජනයාගේ අයිතිවාසිකම් ලංකා ආණ්‌ඩුව විසින් බලාගනු ලැබේ. ඒ ජනයා මේ රටේ සෙසු සියලු ජන කොටස්‌ ලබන පහසුකම් ලබති. පිටකොටුවේදී ඔවුන් ලබන පහසුකම් කොපමණද යත් එහි සමස්‌ත වෙළෙඳ ඒකාධිකාරයෙන් භාගයක්‌ දෙමළ මුදලාලිලා සතුය. (ඉතිරි භාගය ඇත්තේ අපගේ මුස්‌ලිම් සහෝදරයන් අතය.) එතකොට සිංහල මිනිස්‌සු? කෙනකු ප්‍රශ්න කරනු ඇත. දෙමළ හා මුස්‌ලිම් සහෝදරවරුන්ගේ කඩවල බඩු කිරන්නේ, මුට්‌ට කර ගසන්නේ සිංහලයන්ය. රෙදි කඩවල රෙදි මැන කපන්නේ සිංහලයන්ය. කැෂියර් කූඩුවල සිටින්නේ දෙමළ සහ මුස්‌ලිම් සහෝදරවරුන්ය. මේ රටේ වෙළෙඳ මර්මස්‌ථානය වන පිටකොටුවේ සියලු හරස්‌ වීදිවල වෙළෙඳ අධිකාරිය අන් ජාතීන් සතු බව අප කියන්නේ අපගේ දෙමළ සහ මුස්‌ලිම් සහෝදරයන් සමඟ පවත්නා ආරවුලක්‌ නිසා නොව ජයලලිතා මෙනවියගේ දැන ගැනීම පිණිසය.

ඉන්දියාව, ශ්‍රී ලංකාව ඉදිරියේ මීයකු ලෙස නොව කොටියකු ලෙස හැසිරිය යුතු බව ජයලලිතා මෙනවිය කියන විට පහත සඳහන් කරුණු අපගේ සිහියට නැගේ. එනම්,

* ඉන්දියාවේ කීර්තිමත් දේශපාලනඥයකු වූ රජිව් ගාන්ධි ඝාතනය කරන ලද්දේ කොටි සවිධානය විසින් බව.

* ඉන්දියාවේ මීනම්බක්‌කම් ගුවන් තොටුපළට බෝම්බ ගසා එය පොළවට සමතලා කරන ලද්දේ කොටි සංවිධානය විසින් බව.

* ශ්‍රී ලංකාවේ කඩාකප්පල්කාරී ක්‍රියා සිදු කිරීමටත් ශ්‍රී ලංකාවේ මනුෂ්‍ය ඝාතන සිදු කිරීමටත් ඉන්දියානු භූමිය පාවිච්චි කරන ලද්දේ කොටි සංවිධානය විසින් බව.

* ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයකු, දේශපාලන නායකයන් කිහිප දෙනකු සහ සිවිල් වැසියන් දස දහස්‌ ගණනක්‌ කොටින් විසින් ඝාතනය කරන ලද බව.

දැනට ඉන්දියාවේ තමිල්නාඩුවේ පුහුණුව ලබන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් කිහිප දෙනකු වහාම ශ්‍රී ලංකාවට නෙරපා හරින්නැයි ව්‍යාපාරයක්‌ තමිල්නාඩුවේ පවතී. මේ ප්‍රශ්නයේදී ඉතා බුද්ධිමත් ලෙස සහ කාරුණික ලෙස කටයුතු කළ ඉන්දියානු මධ්‍යම රජය එම නිලධාරීන් කර්ණාටක ප්‍රාන්තයේ හමුදා පුහුණු කඳවුරකට යෑවීමට තීරණය කර තිබේ. ජයලලිතාගේ ඉල්ලීම පිටුපස තමිල්නාඩුවේ දැනට පවත්නා, ශ්‍රී ලංකාවේ රජයට විරුද්ධ මතවාදය පවතී. මේ මතවාදයට හේතුව, රජය විසින් යුද්ධය ජයග්‍රහණය කරනු ලැබීමය. ශ්‍රී ලංකාවේ ඊළම දෙනු ලැබුවහොත් තමිල්නාඩුව ද වෙනම රාජ්‍යයක්‌ ලෙස ප්‍රකාශයට පත් කර ගැනීමේ ව්‍යාපාරයක්‌ ඉන්දියාවට නිදහස ලැබෙන්නටත් පෙර සිට පවතී. නිදහස්‌ ඉන්දියාවේ පළමු අගමැතිතුමා වූ ශ්‍රී නේරු මේ ව්‍යාපාරය මර්දනය කළේ ඉන්දියානු පාර්ලිමේන්තුවට පත්ව එන සියලු මන්ත්‍රීවරුන් බෙදුම්වාදයට විරුද්ධව දිවුරුම් ප්‍රකාශයක්‌ කළ යුතු බවට නීතියක්‌ පනවමිනි. මේ නිසා ඉන්දියානු ප්‍රාන්තවල ඇතැම් මහ ඇමැතිවරු බෙදුම්වාදයට අප්‍රකටව උදව් කරති. ජයලලිතා කරන්නේ ද මෙයම ය. ඇය එය කරන්නේ විටින් විට ප්‍රතිපත්තිය මාරු කරමින් ඒ ඒ අවස්‌ථාවේදී ඇතිවන තත්ත්වයට සමරූපව තමාට වාසි සහගත වන ලෙසය. ජයලලිතා හෙළාදකිමු.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.