දරුවන්ට සිදුවන අතවර වළක්‌වන්න
අපි ක්‍රියාත්මක වෙනවා

ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ
සභාපති නීතිඥ අනෝමා දිසානායක

දිනපතා ළමා අපයෝජන වැඩිවෙමින් පවතී. පසුගිය වසරේ ළමා අපයෝජන සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියට පැමිණිලි 5,108 ක්‌ ලැබී ඇති අතර මෙම වසරේ පළමු මාස තුනේදී පමණක්‌ එවැනි පැමිණිලි 9,446 ක්‌ ලැබී තිබිණි. මෙය ඉතාම භයානක තත්ත්වයකි. දරුවන්ගේ රැකවරණයට බරපතළ තර්ජනයකි. දරුවන්ගේ අනාගතයට අවදානමකි. ළමා අපයෝජන ඉහළ යැම සම්බන්ධයෙන් මෙවර "කුජදා හමුවට" අදහස්‌ දැක්‌වූයේ ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ සභාපති නීතිඥ අනෝමා දිසානායක මහත්මියයි.

ප්‍රශ්නය - මේ තරම් ළමා අපයෝජන වැඩි වන්නේ ඇයි?

මෙහි දෙපැත්තක්‌ තියෙනවා. එකක්‌ තමයි මෙච්චර කාලයක්‌ රට පුරා තැන තැන සිදු වූ ළමා අපයෝජන, හිංසන ආදිය පිළිබඳව කිසිවක්‌ වාර්තා වුණේ නැහැ. අපි 2010 වසරේ 1929 ළමා උපකාරක සේවය ආරම්භ කරලා ළමයින් සම්බන්ධයෙන් ඕනෑම තොරතුරක්‌ දැනුම් දෙන්න කියා මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කළාට පස්‌සේ දරුවන්ට සිදුවන අතවර පිළිබඳව දිගින් දිගටම අපට තොරතුරු ලැබෙන්න පටන් ගත්තා. 2010 ට වඩා 2011 තොරතුරු සංඛ්‍යාව වැඩියි. මේ වසරේ මුල් මාස තුන ඇතුළත 9,446 ක්‌ 1929 අංකයට ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි හා තොරතුරු දැනුම් දී තිබෙනවා. සිදුවීම් වැඩි වෙනවාට වඩා සිදුවීම් වාර්තා වීමේ වැඩිවීමක්‌ තමයි තියෙන්නේ."

ප්‍රශ්නය - අධිකාරියට ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම ප්‍රමාණවත්ද?

ඔව්. පැමිණිල්ලක්‌ ලැබුණු සැණින් අදාළ පොලිස්‌ බලප්‍රදේශයේ පොලිස්‌ ප්‍රධානියාට දැනුම් දෙනවා. අපගේ දැනුම් දීම අනුව ක්‍රියාත්මක වන පොලිසිය පැය 48 ක්‌ ඇතුළත අපට තොරතුරු සොයලා නැවත දැනුම් දීමක්‌ කරනවා. සැකකරුවන් බොහෝ දෙනකු අපි අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

ප්‍රශ්නය - ඔබ ඔය විදිහට කිව්වත් ළමා අපයෝජනවලට සෘජුවම සම්බන්ධ සැකකරුවන් නිදැල්ලේ හැසිරෙනවා නේද?

"ඔව්... නීතියේ බොහෝ දුර්වලතා තියෙනවා. බරපතළ ලෙස කුඩා දරුවන්ට අපයෝජන කර නීතියේ රැහැනට හසුවන අය සුළු මුදලක්‌ ඇප ගෙවා නිදහස ලබනවා."

ප්‍රශ්නය - නිදැල්ලේ හැසිරෙන සැකකාර ළමා අපයෝජකයන් අතින් නැවත ළමා අපයෝජන විය හැකියි නේද?

"ඇත්ත වශයෙන්ම එහෙම වුණු අවස්‌ථා අපට හමුවී තිබෙනවා. අපි අල්ලලා උසාවි දානවා. ඒ අය සුළුවෙන් ඇපයක්‌ ගෙවලා ආපහු ගෙදර ගිහින් නැවතත් සුපුරුදු අපයෝජන ක්‍රියාවලියේ නිරත වෙනවා."

ප්‍රශ්නය - මෙවැනි දේ සිදුවන බව දැන දැනත් නීතිය සංශෝධනය කිරීමේ යෝජනාවක්‌ නැද්ද?

"නීතිය එකපාරටම වෙනස්‌ කරන්න අපට බැහැ. අපි මේ වන විට ජාතික ළමා ආරක්‍ෂක ප්‍රතිපත්තිය සකස්‌ කර තිබෙනවා. ඒක සාකච්ඡාවට බඳුන් වෙලා සංශෝaධන වෙලා නියමිත ක්‍රමවේදයන්ට අනුගතව සම්මත විය යුතුයි. එම ක්‍රියාවලිය සිදුවෙන්න ටික කාලයක්‌ ගතවෙනවා.

ප්‍රශ්නය - එතෙක්‌ කළ හැකි යමක්‌ නැද්ද?

"වැරදිකරුවන් නිදහස්‌ වෙන නිසා එවැනි වැරදිකරුවන්ගේ වරදට ගොදුරු වන අහිංසක දරුවන්ව, අනාරක්‍ෂිත දරුවන්ව යම් සිද්ධියක්‌ වාර්තා වූ සැණින් අපි ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය භාරයට ගන්නවා. ඒ සඳහාත් අපට පහසුකම් අඩුයි. නමුත් ළමයා නැවත නැවත අතවරයට ගොදුරුවීම වැළැක්‌වීම සඳහා අපි වහාම ඒ ක්‍රියාමාර්ගය ගන්නවා."

ප්‍රශ්නය - දරුවන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් දෙමව්පියන් සැලකිලිමත් නොවන්නේ ඇයි?

"ඒක තමයි මටත් හිතාගන්න බැරි කාරණාව වන්නේ. ඇතැම් දරුවන්ව අතවරවලට ගොදුරුවන්නේ නිවස ඇතුළේදීමයි. සමහර දරුවන් තාත්තා අතින් අතවරවලට ගොදුරු වෙනවා. අම්මා කෙනෙක්‌ තමන්ගේ දූ පුතුන් ගැන උකුසු ඇස්‌ හෙළාගෙන සිටිය යුතුයි. ඇසිල්ලකින් දරුවාගේ ජීවිතය විනාශ විය හැකියි. අම්මලාගේ අනියම් සබඳතාත් දරුවන් අතවරවලට ගොදුරුවීම කෙරෙහි බලපානවා."

ප්‍රශ්නය - ඒ සඳහා වැඩපිළිවෙළක්‌ නැද්ද?

"අපි ගමෙන් ගමට ගිහින් දැනුවත් කිරීම් කරනවා. එහි ප්‍රතිඵල තියෙනවා. නොදැනුවත්කම ගැටලු රැසකට මුල්වෙලා තියෙනවා. අපි පාසල් මට්‌ටමෙන් දරුවන් දැනුවත් කිරීම් කරනවා. තමන්ට විය හැකි අතවර හා හිරිහැර හඳුන්වා දීමත්, එයින් ආරක්‍ෂා වන ක්‍රියාමාර්ග ගැනත් අපි දරුවන්ට වීඩියෝ දර්ශන පවා යම් තරමකට භාවිත කරමින් කියා දෙනවා. එවැනි වැඩමුළුවක්‌ පවත්වලා දින දෙකක්‌වත් ගතවෙන්න කලින් කොළඹ ප්‍රධාන බාලිකා පාසලක දැරියක්‌ නාඳුනන පිරිසක්‌ විසින් පැහැරගෙන යනු ලැබුවා. අපි කියාදුන් දේ අනුගමනය කරලා ඒ දැරිය දිවි බේරා ගත්තා."

ප්‍රශ්නය - ඇතැම් පාසල්වලත් අද අනාරක්‍ෂිත පරිසරයක්‌ නිර්මාණය වෙලා තියෙනවා නේද?

"ඔව් පාසල්වල ගුරුවරු හිඟකම ප්‍රධානම ගැටලුවයි. පංති භාර ගුරුවරු නැතිකම සහ සිටින අය නිවාඩු යැම නිසා පංතියක දරුවන් පිළිබඳ වගකීම භාරගන්න පාසල් කාලයේදී කිසි කෙනෙක්‌ නැහැ. ඇතැම් දරුවන්ට පාසල් කාලයේදීම පංති කාමරයෙන් විතරක්‌ නෙවෙයි පාසලෙන් පිටතට යන්නත් ඉඩකඩ ලැබෙනවා. මෙවැනි අවස්‌ථාවල නොයෙකුත් අයට රැවටිලා දරුවෝ අතවරවලට ගොදුරු වෙනවා. ඊළඟට විශේෂිත කාමරවල විවේකීව සිටින ගුරුවරු අතිනුත් ළමයින්ට අතවර වෙලා තියෙනවා. උදාහරණ හැටියට දක්‌වනවා නම් සංගීත කාමර, නැටුම් කාමර, විද්‍යාගාර වගේ තැන්වල ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. හවස පංති පවත්වන සමහර ගුරුවරු දරුවන්ට අපයෝජන සිදුකර තිබෙනවා. මෙවැනි තැන්වල එක්‌කෝ දෙමව්පියන්, නැත්නම් වගකිවයුතු වෙනත් ගුරුවරු හෝ විනය භාර කෙනෙක්‌ සිටිය යුතුයි. දරුවන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් වැඩපිළිවෙළක්‌ තිබිය යුතුමයි. දෙමව්පියෝ බලන්න ඕනෑ තමන්ගේ දරුවා සහභාගි කරවන අමතර පංතිය නැත්නම් පාසල් කාලයෙන් පසුව පවත්වන පංතිය ආරක්‍ෂා සහිතද කියලා. අද තියෙන්නේ දරුවාට හෙණ ගැහිලා ගියත් විභාග පාස්‌ කරවා ගන්නා වටපිටාවක්‌ නේ. තමන්ට පාසල් කාලයේදී දිනාගන්න බැරි වෙච්ච සහතික, පදක්‌කම්, විභාග ප්‍රතිඵල සියල්ල දරුවාගෙන් ලබාගන්න දෙමව්පියන් උත්සාහ කරනවා. මෙයින් දරුවන්ට සිදුවන්නේ අසීමිත පීඩනයක්‌ බව දෙමව්පියන් තේරුම් ගත යුතුයි."

ප්‍රශ්නය - නූගත් දෙමව්පියන්ට මේ දේවල් තේරුම් ගන්න අපහසුයි නේද?

"ඔව් මම පිළිගන්නවා. ගම් මට්‌ටමෙන් මරණාධාර සමිති, මහිලා සමිති, ගොවි සමිති ඇතුළු ගමේ සරලම පුංචි කණ්‌ඩායම්වල පටන් ජාත්‍යන්තර සමුළු දක්‌වා අපි ජනතාව දැනුවත් කිරීම් කරගෙන යනවා. අතීතයට සාපේක්‍ෂව අද දරුවන්ට සිදුවන හිංසන, පීඩන ඒ නිසා අඩුවෙලා තියෙනවා."

ප්‍රශ්නය - මව විදේශගත වීම දරුවන්ගේ රැකවරණයට මහත් තර්ජනයක්‌ වී තිබෙනවා. එවැනි මව්වරුන් විදේශගතවීම වළක්‌වන්නේ නැත්තේ ඇයි?

"මීට පෙර සිටි ඇමැතිවරිය වයස අවුරුදු පහට අඩු දරුවන් සිටින අම්මලා රට රැකියා වෙත යොමුවීම වැළැක්‌වීමට නීති අනපනත් ගෙනාවා. ඒත් නොයෙකුත් බාධා ඇවිත් එය ක්‍රියාත්මක කරගන්න බැරි වුණා, වර්තමාන ඇමැතිවරයාත් වයස අවුරුදු 18 ට අඩු දරුවන්¾ විශේෂයෙන්ම ගැහැනු දරුවන් සිටින අම්මලා රට රැකියාවලට යොමුවීම වැළැක්‌වීමේ උත්සාහයක නිරත වෙනවා. තවමත් යහපත් ප්‍රතිඵල නැහැ. මෙවැනි දේ ක්‍රියාවට නැංවීම පහසු නැහැ. එකක්‌ අම්මලාත් තමන්ගේ දරිද්‍රතාව උසුලගන්න බැරි වුණාම රට රැකියාවලට යොමුවෙන්න තමයි උත්සාහ කරන්නේ. එක්‌කෙනෙක්‌ දෙන්නෙක්‌ එය වළක්‌වන්න කටයුතු කරද්දී දහසක්‌ දෙනා ඊට එරෙහිව ක්‍රියාත්මක වෙනවා. අපට කළ හැකි මට්‌ටමෙන් එවැනි අම්මලා දැනුවත් කිරීම් කරනවා.

ප්‍රශ්නය - ළමා අපයෝජකයන්ට මේ තරම් සරල සැහැල්ලු දඬුවම් දෙන්නේ ඇයි?

"ඒක තමයි අපටත් තියෙන ප්‍රශ්නය. දඬුවම් හොඳටම මදි. අනික තමයි ඇප පනතත් වෙනස්‌ වෙන්න ඕනේ. මිනීමරුවන්ට, ගිනි අවි ළඟ තබාගත් අයට, මත්ද්‍රව්‍ය ළඟ තබාගත් අයට බරපතළ දඬුවම් දෙනවා. නමුත් ළමයෙක්‌ව පැහැරගත්ත, දූෂණය කළ අයව නිදහස්‌ කරනවා. එක්‌කෝ ඇප දෙනවා. ජීවිතයක්‌ නසනවාටත් වඩා දරුවෙක්‌ම අපයෝජනයට ලක්‌කිරීම සාහසික අපරාධයක්‌ ලෙස නීතිය නොසලකන්නේ ඇයිද කියලා මට නම් තේරෙන්නේ නැහැ. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ වයස අවුරුදු 18 ට අඩු දරුවකුට කුමන හෝ හිංසනයක්‌ කළ කෙනෙක්‌ දරුණු අපරාධකරුවෙක්‌මයි. එවැනි කෙනෙකුට කුමන හේතුවක්‌ නිසාවත් නිදහසක්‌, ලිහිලක්‌ ලබා නොදිය යුතුයි. කිසි දවසක එවැනි අපරාධකරුවකුට ජනාධිපති සමාවක්‌ ලබා දෙන්න හොඳ නැහැ."

ප්‍රශ්නය - නඩු තීන්දු කල් යැම එවැනි අපරාධකරුවන්ට ආශිර්වාදයක්‌ නේද?

"ඔව්, සමහර නඩුවල තීන්දු ලැබෙද්දී අපයෝජනයට ගොදුරු වූ දැරිය කාලයක්‌ තිස්‌සේ හිත හදාගෙන මානසික පීඩනය අවම කරගෙන අලුත් ජීවිතයක්‌ ගැන හිතලා විවාහයකටත් සූදානම් වෙනවා. එක්‌කෝ විවාහ වෙලා දරුවොත් ලබලා. නඩු තීන්දුව නිසා එවැනි පවුල් ජීවිතේ පවා විනාශ වුණු අවස්‌ථා අපට හමුවී තිබෙනවා."

ප්‍රශ්නය - ළමා නිවාසවල සිදුවන අපයෝජන හිංසන සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය තදින් ක්‍රියාත්මක නොවන්නේ ඇයි...?

"බලයේ අඩුපාඩු අපට තිබුණා. නමුත් දැන් අපට ස්‌වේච්ඡා ළමා නිවාස අධීක්‍ෂණය කිරීමේ පූර්ණ බලය ලැබී තිබෙනවා. ආගමික වශයෙන් කරගෙන යන ස්‌වේච්ඡා ළමා නිවාසත් අපට අධීක්‍ෂණය කළ හැකියි. ළමා නිවාසයක්‌ පවත්වාගෙන යැමට සුදුසු පරිසරයක්‌ නැත්නම් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නත් අපට හැකියාව තියෙනවා."

ප්‍රශ්නය - ළමා මනස, පවුල් සංස්‌ථාව විනාශ කිරීම කෙරෙහි ප්‍රබල බලපෑම් එල්ල කරන රූපවාහිනී වැඩසටහන් සම්බන්ධයෙන් විරෝධතාවක්‌ නොදක්‌වන්නේ ඇයි?

"අපි අනේකවාරයක්‌ ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට දැනුම් දී තිබෙනවා. නමුත් නොයෙකුත් බලවේග ඊට ඉහළින් ක්‍රියාත්මක වන නිසා වෙන්න ඇති කවුරු කෙසේ කීවත් රූපවාහිනී වැඩසටහන්වලට හා දැන්වීම්වලට වාරණ පනවන්න බැරිව ඇත්තේ කියා මම සිතනවා."

ප්‍රශ්නය - ෙµaස්‌ බුක්‌, අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක වන දරුවන්ට අහිතකර දෑ වැළැක්‌වීමට උත්සාහ නොකරන්නේ ඇයි?

"වෙබ් අඩවි කිssහිපයක්‌ තහනමට ලක්‌කිරීමටත් අප කළ බලපෑම් පසුගිය කාලයේ හේතුවුණා. එක තැනකින් තහනම් කරද්දී තව තැන් කිහිපයකින් ඒවා නැවත ඉස්‌මතු වෙනවා. ෙµaස්‌ බුක්‌ සම්බන්ධතා නිසා ගැහැනු දරුවන් අපයෝජනයට ගොදුරු වූ අවස්‌ථා පිළිබඳ අපට තොරතුරු හමුවුණා. එවැනි අපරාධකරුවන් අපි අත්අඩංගුවට ගැනීමටත් පියවර ගත්තා. මම කියන්නේ නවීන තාක්‍ෂණය දරුවන්ට අවශ්‍යයි. නමුත් එය භාවිත කිරීමේදී වැඩිහිටි දෙමව්පියන්ගේ අධීක්‍ෂණය, සොයා බැලීම අත්‍යවශ්‍ය වෙනවා."

ප්‍රශ්නය - දරුවන්ගේ වගකීම දෙමව්පියන් පිට පැටවීම අධිකාරියේ රාජකාරිය නෙවෙයි නේද?

"අපි කිසිසේත්ම එහෙම කරන්නේ නැහැ. දෙමව්පියන් දැනුවත් කිරීම හා දෙමව්පියන් හරහා දරුවන්ගේ රැකවරණය සැලසීම අපේ වගකීම් අතර ප්‍රධානයි. නමුත් අපි එතැනට සීමාවෙලා බලාගෙන ඉන්නේ නැහැ. අපට ඉන්නේ පොලිස්‌ නිලධාරීන් 30 දෙනයි. මේ තිස්‌දෙනාගෙන් මුළු රටේ ඕනෑම තැනක සිදුවන ළමා අපරාධයන් වැළැක්‌වීමට අපි උපරිමයෙන් ක්‍රියා කරලා තියෙනවා. ළමා අපයෝජකයන් සෘජුවම අත්අඩංගුවට ගැනීමේ බලය ළමා ආරක්‍ෂක අධිකාරියේ විශේෂ පොලිස්‌ ඒකකයට තියෙනවා. ඒ අනුව අත්අඩංගුවට අරගෙන උසාවි දැම්මාම අපරාධකරුවන් ඇප දීලා ගෙදර යනවා. ආයෙමත් අපරාධ කරනවා ආයෙමත් ඇප දෙනවා. අපට තියෙන සීමාවේ වගකීම අපි ඕනෑවටත් වඩා ඉටු කරනවා. නමුත් මේ රටේ දරුවන්ට රැකවරණය සැලසීම ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියට විතරක්‌ තනියම කරන්න බැහැ."

තුෂාරි කඵබෝවිල

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.