"බොරු සමග හෙලුවෙන්ලු
ඒ රටේ මිනිස්‌සු"

මීට දශක තුන හතරකට පෙර මෙන් නොව වර්තමානයේ නම් අපේ ගුරුතුමන්ලාත්, ගුරුතුමියනුත් පොඩි එවුන්ට සීයා ගැන රචනාවක්‌ ලියා ගෙන එන්නැයි කීමට පවා බොහෝ සේ මැළි වෙති. ඊට හේතුව වන්නේ බුලත් කොටන, විට කන, කළු සුරුට්‌ටු බොන, සුදෝ සුදු රැවුලකින් හෙබි, කරුංකා ගෙඩියක්‌ සේ කොණ්‌ඩය ගැට ගැසූ, වියපත් සීයලා අද කාලේ සෙවීම කටුගෙදරින් නැති වූ කඩු කස්‌තාන සොයනවාටත් වඩා අසීරු කාරියකි.

සීයාගේ රූපයක්‌ චිත්‍ර පොතේ ඇඳගෙන එන්නැයි කීවොත් නිශ්චිතව පොඩි උන් ඇඳගෙන එන්නේ,

අව් කණ්‌නාඩියක්‌ සුරතේ දරා සිටින, ගෙලවටා මාලයක්‌ සේ සෙලියුලර් දුරකථනයක්‌ පැලැඳි ඩෙනිමකින් හා ඩෙක්‌ ෂූස්‌ දෙකකින් සැරසී, "මාරිම්බා" ටී ෂර්ට්‌ එකක්‌ ඇඳ, ජෙල් තට්‌ටුවක්‌ ගා හිස පීරා, එකදු නර කෙසක්‌ හෝ නොපෙනෙන සේ "ඩයි" ගා හිසකේ මනාව සකසා ගත් ජොලි සීයා කෙනකු මිස වෙන මොන සීයෙක්‌ද?

සීයලාට සාපේක්‍ෂව බලන කල අද කාලයේ ආච්චිලාගේ තත්ත්වයද ඊට දෙවැනි නැත. ඒ නිසා "කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන ආච්චි මේ එන්නේ" යෑයි කීමට අපේ පොඩි උන්ට වරම් නැත.

වර්තමාන සීයලාගේ සහ ආච්චිලාගේ මට්‌ටම එසේ වූ කල අම්මිලාගේ සහ තාත්තිලාගේ තත්ත්වය ඊට නොදෙවැනිය.

උදෑසනක එක්‌තරා රූපවාහිනී නාලිකාවක අපූරු වැඩසටහනක්‌ ප්‍රචාරය කෙරිණ. මීට අනුග්‍රහය දක්‌වා තිබුණේ රටේ නමගිය රූපලාවණ්‍ය නිෂ්පාදන ආයතනයකි. තම වෙළෙඳපොළ, 30% කින් පමණ පුළුල් කරගැනීම ඔවුන්ගේ අරමුණ විය. එනිසා වෙළෙඳ පොළ තරගයෙන් ජය ගැනීමට නම් තම නිෂ්පාදන වයස අවුරුදු 35-55 අතර පරාසයක්‌ කරා වූ කාන්තාවන් ඇදගැනීම සඳහා ඉලක්‌ක කරගෙන ප්‍රචාරක වැඩ සටහන දියත් කළ යුතුව තිබිණි. මේ එබඳු අලෙවි ප්‍රවර්ධන වැඩ සටහනකි.

තම ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන ආලේපයක්‌ සති කීපයක්‌ම මුහුණේ උලාගෙන ඉන් ඉක්‌බිතිව අදාළ කාන්තාවන්ගේ මුහුණු මණ්‌ඩලයේ දිස්‌වන ආශ්චර්යය හුවා දැක්‌වීම ප්‍රචාරක ආයතනයේ අභිලාෂයයි. එකී කොන්තරාත්තුව ගත් දැන්වීම් ප්‍රචාරක සමාගම එම කටයුත්ත අපූරුවට ඉදිරිපත් කරන්නේ රූපවාහිනී කැමරාව ඉදිරියේ මවන අම්මලා සහ දූලාගේ තරගයක්‌ හරහාය.

සති කීපයක්‌ තුළ තරග වට කීපයක්‌ හරහා ජය කණුව වෙත ළඟා වූ අම්මිලා සහ දූලා රන් සමනොළියන් පුංචි කැකුළියන් සේ රූපවාහිනී කැමරාව ඉදිරියේ ඔබ මොබ සරති.

නිවේදන ගැටයාගේ සහ නිවේදිකා ගැටිස්‌සියකගේ ලට පට කතාවලින් සේම මියුරු වදන් වලින්ද ඔවුහු සැනැහෙති.

සතියේ දින පහේම පාහේ උදෑසන සිට රූපවාහිනී නාලිකා ඔස්‌සේ විසිරුවා හැරෙන මෙබඳු වැඩසටහන් නරඹන "ගෙදර වැඩ නැති" අපේ කාලයේ අම්මිලාගේ පාළු කපන මේ රූප පෙට්‌ටිය ඇත්ත වශයෙන්ම මේ අයට කෑම දිරවීමේ හොඳ අතුරු පසක්‌ වේ.

අම්මිලා සමඟ දූලාද සහභාගි වූ එම තරගයේ අර්ධ අවසාන පූර්ව වටයට ළඟාවූ දියණිය දැන් නිවේදන ගිරා පෝතකයා ඉදිරියට එයි.

"දැන් ඔයාගෙ යාළු මිත්‍රයෝ ඔයාව දැකපුවම මොකද කියන්නේ?" නිවේදකයාගේ සරල පැනයට අර දියණිය "මාෂ් මෙලෝස්‌" සයිස්‌ එකේ තොඳොල් පිළිතුරක්‌ දේ.

ඊළඟට ඇත්තේ අම්මිගේ වාරයයි. සුපුරුදු පැනයම, නිවේදකයා අර අම්මි වෙතද යොමු කරයි. අම්මිගේ පිළිතුර මෙසේය.

ඇත්තමයි මේක ගෑවට පස්‌සේ මට ලොකු වෙනසක්‌ දැනුqණා. මේ ළඟදී දවසක මගෙ යාළුවෝ වගයක්‌ මාව දැකල "වාව්" කීවා. දැන් රූපවාහිනී සජීවී පටිගත කිරීමේ මැදිරිය එකම රස සිනා හඬකින් පිරීයයි.

එහෙත් මොනරියක සේ හැඩ වැඩ පා, කට උල් කර අර අම්මී "වාව්" කියන කල රූපවාහිනී මැදිරියම සිනහ හඬින් පිරී ගිය මුත් ඒ අම්මිගේ දයාබර දියණිය පමණක්‌ මුහුණ රතු කරගෙන ඔහේ බලාගෙන සිටියේ තම මෑණියන්ගේ උන්මාද උත්තරයට ඈට කටඋත්තරද නැති නිසා විය හැක. සැබැවින්ම රුපියල් ශත ඉදිරියේ මේ හෑල්ලු වී යන්නේත්, මස්‌තබාල්දු වී යන්නේත් අපේ, උතුම් වූ මාතෘත්වයම නොවේද? මේ අයුරින්ම ගෙදරට වී ඔහේ කාලය කකා සිටින අපේ කාලයේ ඇතැම් අම්මිලා FM නාලිකාවල ගිරා පෝතකයන් සමඟ වේලාවක්‌ අවේලාවක්‌ නැතිවම හුරතල් වෙන ලීලාව අසල කල අපට නම් සිතෙන්නේ, අනේ· කපුගේ නුඹ අද ජීවතුන් අතර සිටියා නම් මේ අම්මිලා ගැන නුඹ ගයන්නේ කෙබඳු ගීතයක්‌ද? කියාය.

රන්බණ්‌ඩා සෙනෙවිරත්නයෝ ලියූ ගේය පද රචනාවට ජීවය දුන් කපුගේ සූරීන් එදා ගැයුවේ ගෙදර බුදුන් වූ අම්මලා ගැන මිස, අද දවසේ "වාව්" ගැන අම්මිලා ගැන නම් නොවේය. අහෝ· කපුගේ නුඹේ දෑසට අපේ කාලයේ අම්මිලා මුණ නොගැසීම එක අතකින් අපේ වාසනාවකි. එසේ නොවුණි නම් මේ "වාව්" අම්මිලා ගැන නුඹ ගයන ගී අසා මිය යන්නේ නුඹ නොවේ අපිය.

පසුගියදා ජාතික පුවත්පතක මුල් පිටුවේම මා දුටුවේ අපේ අම්මි කෙනෙක්‌ ආසියානු විවාහක රූ රැජින තරගයකින් මුලට ආ පුවතකි. ඒ සමගම වයස පනහට වැඩි ලාලිත්‍යයෙන් හෙබි කත සම්මානයද හිමිව තිබුණේ අපේ රටේම අම්මී හෝ ආත්තම්මී කෙනකුටය. මේ ගැන නං අපි ඇත්තටම සතුටු විය යුතුය මන්ද, තරගය අන්තර්ජාතික එකක්‌ නිසාය. දැන් ඉතිං, මේ අම්මීගේ සහ අත්තම්මී ගේ රූපය යොදාගෙන කාන්තා රූපලාවණ්‍ය ආලේප, ක්‍රීම් නිෂ්පාදකයන් හට තම නිෂ්පාදන සඳහා වූ වෙළෙඳ පළ තව තවත් පුළුල් කර ගත හැකිය. අවශ්‍ය නම් එය වයස අවු 55 -75 දක්‌වා පරාසයක්‌ කරා වුවද රැගෙන යා හැකිය. මේවා අපේ රටේ ගොරකා දඩ මස්‌ කරන මාකටිං ඔස්‌තාද්ලාට සුළු දේවල්ය.

මේ අයුරින් බලන කල වාණිජ ලෝකයේ බඩගෝස්‌තරවාදී ඇස්‌ බැන්දුම්වලින් මං මුළා වූ අපේ කාලයේ අම්මිලා තමන්ගෙන් මේ තාක්‌ අතපසුවී ඇති, මඟ හැරී ඇති, උතුම් මව් පදවියේ යුතුකම් හා වගකීම් ගැන ගැඹුරින් සිතන්නේ කවදාද? තම තමන්ගේ හෘද සාක්‍ෂියේ සැබෑ වූ හඬට ඔවුන් සවන් දෙන්නේ කවදාද?

රූප පෙට්‌ටියත්, අන්තර් ජාලයත් දිනෙන් දිනම උතුම් වූ මාතෘත්වය කෙලෙසමින් අම්මලා අම්මිලා කොට, මාපිය - දූ දරු සබඳතා දියාරු කොට, සංස්‌කෘතික කාන්තාරයක අප අතරමං කොට නන්නන්තාර කරන තෙක්‌ම අපි අපේ දෑස්‌ බැඳගෙන සිටිය යුතුද? රුපියල් ශතවලට එහා ගිය ජීවිතයක්‌ අපට ඇත්තේම නැතිද? දිනෙන් දිනම සල්ලාලයන්, පාහරයන් අතින් සල්ලං වෙන අපේ අහිංසක දුවා දරුවන්ගේ වටිනා ජීවිතවල නාමයෙන්වත් මේ අම්මිලා අම්මලා බවට පත්විය යුතු නොවේද? අම්මා ආදර්ශවත් නොවූ කල පියා ආදර්ශවත් නොවූ කල අයාලේ යන්නෝ දරුවෝය.

දරුවන් කෙරේ අම්මාගේ සෙනෙහස දුරස්‌වීම, ආරක්‍ෂාව නොමැතිවීම, ඉබාගාතේ යන ආදරය සහ කරුණාව බඩ ගෝස්‌තරවාදී කාලකණ්‌ණි සමාජ ක්‍රමය තුළ දියාරූ වී යැම තුළද අද අපට ඉතිරිවී ඇත්තේ දත්මිටි කෑම සහ සුසුම්ලෑම පමණක්‌ද? එදා කීවේ තොටිල්ල පදවන අත ලොව පාලනය කෙරේ කියාය. එහෙත් පාලනයක්‌, නීතියක්‌ නැති රටක මොන කෙංගෙඩියකට අපි තොටිලි පදවන්නද කියා මේ අම්මිලා සිතනවා දැයි අපි නොදනිමු.

අම්මිලා සේම තාත්තිලාද ඒ සමගම දරුවන්ද අයාලේ යන යුගයක්‌ය මේ. පන්සලේ පොහොයදාට බණ කී දකුණේ ලොකු හාමුදුරුවෝ පොලිස්‌ අත්අඩංගුවට පත්වන්නේ මිනීමරු පාතාලයන් නඩත්තු කිරීම සහ උන් ආදරයෙන් රැක බලා ගැනීම නිසාය. කම්පාවට පත් දායකයෝ සටන්පාඨ කියමින් වීදි බසින්නේ නීතිය මේ පව්කාරයින් කෙරේ හරියටම ක්‍රියාත්මක කරවනු කියාය.

මේ රටේ පොහොයදාට උදේ සිටම ඇසෙන්නේ බුදු බණය. කියෑවෙන්නේම බුදු ගුණය. දැන් දැන් ඇතැම් Fඵ නාලිකාද දවස පුරා කළ පව් සෝදා ගැනීමට මෙන් උදය හවස නොවරදවාම විවිධ ගාථා සූත්‍රයන් ජනතාවට ශ්‍රවණය කිරීමට සලස්‌වති. ඇත්තෙන්ම මේවා ඉතාම හොඳ දේය. එහෙත් කරුමය නම් මෙබඳු යහපත් දේ ඇතුළු කන හරහා ගොස්‌ කන් බෙරය ළඟ නැවතීමය.

ශ්‍රද්ධාවෙන් එක බුදු වදනක්‌ හෝ උන් ඇසුවේ වී නම් මේ රටේ මේ තරම් හද කම්පා කරවන ළමා අපචාර, මිනීමැරුම්, ස්‌ත්‍රී දූෂණ, මංකොල්ලකෑම් සිදු වේද? පන්සලේ සධාතුක කරඬුව පෙරහැරින් වැඩම වන නිලමෙතුමා සංඝ පීතෘවරු දෙනමක්‌ම අපවත් කිරීමට සෘජුවම මැදිහත් වේද?

එය එසේ වන්නේ කී නොකී එකීමෙකී සියලු දෙනාම සමාජයේ බොරු සමඟ හෙලුවෙන්ම සිටින නිසාය. උන් මුලින් අපිව රවටති. පසුව තෙමේ, තමන්වම රවටා ගනී. හිස්‌ අතින්ම අන්තිම ගමනක්‌ යති. ගෙන යැමට කිසිත් නැති, පව් බර කුණු කයම මහ පොළොවට පස්‌කොට, උතුම් වූ මිනිස්‌ ආත්මයෙන් තිරිසන් ආත්මයට පාර කපාගෙන ගොඩ ඒමක්‌ නැති සංසාරයේ දුකම පමණක්‌ උරුම කොට ගනිති.


අම්මිලා සේම තාත්තිලාද ඒ සමගම දරුවන්ද අයාලේ යන යුගයක්‌ය මේ. පන්සලේ පොහොයදාට බණ කී දකුණේ ලොකු හාමුදුරුවෝ පොලිස්‌ අත්අඩංගුවට පත්වන්නේ මිනීමරු පාතාලයන් නඩත්තු කිරීම සහ උන් ආදරයෙන් රැක බලා ගැනීම නිසාය. කම්පාවට පත් දායකයෝ සටන්පාඨ කියමින් වීදි බසින්නේ නීතිය මේ පව්කාරයින් කෙරේ හරියටම ක්‍රියාත්මක කරවනු කියාය. මේ රටේ පොහොයදාට උදේ සිටම ඇසෙන්නේ බුදු බණය. කියෑවෙන්නේම බුදු ගුණය. දැන් දැන් ඇතැම් Fඵ නාලිකාද දවස පුරා කළ පව් සෝදා ගැනීමට මෙන් උදය හවස නොවරදවාම විවිධ ගාථා සූත්‍රයන් ජනතාවට ශ්‍රවණය කිරීමට සලස්‌වති. ඇත්තෙන්ම මේවා ඉතාම හොඳ දේය. එහෙත් කරුමය නම් මෙබඳු යහපත් දේ ඇතුළු කන හරහා ගොස්‌ කන් බෙරය ළඟ නැවතීමය.

ජයන්ත විඡේසිංහ

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.