අවිචාරයේ සෝදාපාළුවෙන් වැනසී යන
ජාතික පරමාදර්ශ

ලාංකීය ජන සමාජය අතීතයේදී සුවිශේෂී ප්‍රෙෘඪත්වයකින් හා ස්‌වාභිමානයකින් ප්‍රභාමත්ව පැවැති බව අප නිබඳවම සිහි කරන සත්‍යයකි. ඊට හේතු සාධක බොහෝමයක්‌ තිබුණා විය හැකියි. නමුත් ප්‍රධානතම සාධකය ලෙස මා දකින්නේ පරමාදර්ශී නායකත්වයයි. ගම පාසල කේන්ද්‍ර කරගත් කෘෂි ආර්ථික රටාවකට යොමු වී සිටි පැරණි ලාංකිකයා සිය ග්‍රාම රාජ්‍යය තුළ සුපිරිසිදු නායකත්වයක්‌ ගොඩනගා ගෙන තිබිණි. එහි ප්‍රධානියා වූයේ පූජනීය වූ භික්‍ෂූන් වහන්සේය. ඒ සමඟ ගමේ පාසලේ මුල්ගුරුතුමා, ගමේ වෙද මහත්මා මේ තිදෙනා හැරුණු විට ගොවිතැන් පිළිබඳ පරිණත දැනුම ඇති වැඩිහිටියන්, උදැල්ල, පිහිය, දෑකැත්ත, නගුල ආදී කෘෂි මෙවලම් හා ගෘහ උපකරණ සාදා දුන් කම්මල්කරුවා ඇතුළු කාර්මික ශිල්පීන් කීපදෙනෙක්‌ ද මේ අතර වූහ. කාන්තාවන්ගේ ඕනෑ එපාකම් ගැන සොයා බැලූ මව්වරුන්ගේ හා දරු දැරියන්ගේ සෞඛ්‍යාරක්‍ෂාව පිළිබඳව නිරීක්‍ෂණ කටයුතු කළ වින්නඹු අම්මා ද මේ අතර සිටි ප්‍රභූ චරිතයකි.

ඉහත කී සියලු දෙනා අතරින් පන්සලේ ලොකු හාමුදුරුවොත් වෙද මහත්තයා සහ පාසලේ මුල් ගුරුතුමාත් අපේ ජීවිතවලට සුවිශේෂී පරමාදර්ශයන් විය. මීට දශක දෙකකට පමණ පෙර ජීවත් වූවන්ට මතක ඇති පරිදි නාගරිකත්වයෙන්, වාණිජත්වයෙන් හා තාක්‍ෂණික සුපිරි මෙවලම් සේවනයෙන් හෙම්බත් නොවුණු ලාංකිකයා සිය ගම තුළ පැවැති අව්‍යාජ වූ අත්දැකීම් සමඟ අචල වූ පෞරුෂත්වයකින් කාලය ගත කළහ.

ගුරු ගෙදර ගමේ පාසල බවට පරිවර්තනය වුවත් නිදහස්‌ අධ්‍යාපනයේ ජන්ම උරුමය ගමේ දරුවන්ට නිර්ලෝභීව දිනාගන්නම මඟ පෙන්නූ මුල් ගුරුතුමා සුසංවේදී බවින් යුතු යහපත් සිතුවිලි වර්ධනය කරගත් පුරුෂෝත්තමයෙකි.

මෙලොව යහපැවැත්ම උදෙසා සානුකම්පිත ජන විඥනය සුවපත් කොට බුද්ධිමය ප්‍රබෝධයකට ජන සමාජය අවතීර්ණ කළෝ අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝය. පරලොව බිය සුන් කොට මරණීය වේදනාවන් පවා අවම කොට ජීවිතයේ සැඳෑ සමය ගත කළවුන් සුසිල්වත් කොට බඹතලය තෙක්‌ සිත් ඉම වර්ධනය කළ එතුමෝ බුදුන් දකින මඟට අපගේ පරපුර යොමුකර තිබිණි.

කායික මෙන්ම මානසික ව්‍යාධීන් පිළිබඳව ද මනා අවබෝධයකින් යුතු පාරම්පරිකව අත්දැකීමෙන් ශිල්ප දිනා සිටි ගමේ වෙදරාළ නමින් සම්මානයට බඳුන් වූ වෙද මහත්තයා අතීතයේ ලාංකීය සමාජය සුවපත් කළ මහා පුරුෂයෙකි. මියගියා යෑයි සම්මතයට පැමිණ ඥතීන් විසින් වළ දමන්නට රැගෙන ගිය මළ කඳ යළි පරීක්‍ෂාවට ලක්‌කොට සර්ප විෂ ඉවත් කර රෝගියා සුවපත් කොට ගෙදර යෑවූ විෂ වෛද්‍ය විශේෂඥයෝ අපේ ගම්වල කුඩා සිංහල උළු ගෙවල්වල විරාජමානව කල් ගෙවූහ. ලෙඩුන් සුවපත් කොට ලබාගන්නා සුළු පඬුරක්‌ හැරුණු විට පරීක්‍ෂණ ගාස්‌තු හා ඖෂධ මිලක්‌ එදා ඔවුන් අය කළේ නැත. මේ වෙද චරිතය ද ගමක අභිමානය වර්ධනය කළ සුපූජිත චරිතයකි.

මෑත කාලයේ දක්‌නට ලැබෙන පුවත්පත් දැන්වීම් හා මාධ්‍ය තොරතුරුවලට අනුව ඇඟ කිලි පොලා යන තරමේ අපචාර ක්‍රියා හා නොපනත්කම් රාශියකම සැකකරුවෝ වූයේ ඉහත සඳහන් කළ පරමාදර්ශී චරිතමය. ළමා අපචාර හා සම්බන්ධව රක්‍ෂිත බන්ධනාගාරගත වූ හා ඇප මත නිදහස්‌ව සිටින භික්‍ෂූන් වහන්සේ කීපනමකි. විදේශීය ධර්ම ප්‍රචාරයන්හි නිරත වූ ඇතැම් වියතුන් වහන්සේලා අද බරපතළ අපචාර චෝදනා ලැබ සිටිති.

දැරියන් 11 දෙනකු අපචාරයට ලක්‌කළ විදුහල්පතිවරයකු මෑත කාලයේ අත්අඩංගුවට ගැනිණි. අපචාර, සොරකම්, මිනීමැරුම් ආදී සමාජ විරෝධී ක්‍රියා බොහෝමයකට මෙම සුවිශේෂී චරිත සම්බන්ධ වීම බරපතළ තත්ත්වයකි. මෙම කනගාටුදායක තත්ත්වය නිර්මාණය වීම කෙරෙහි විවිධ හේතු සාධක තිබෙන්නට පිළිවන. එහෙත් මා දකින හේතු කීපයක්‌ මෙසේ දක්‌වමි.

මුදල් කේන්ද්‍ර කරගත් වාණිජවාදී මිනුම් දඬු මගින් විශිෂ්ට පුද්ගලයන් අභිබවා දූෂිත චරිත සමාජයේ ඉහළින් වැජඹීම.

දේශපාලන බලවතුන්ගේ රැකවරණ යටතේ සියලු දූෂිතයන් වීරත්වයකින් සමාජය තුළ වරප්‍රසාද දිනා සිටීම.

තරගකාරී මාධ්‍ය රැල්ල, ජනවිඥනය, ග්‍රහනය කරගනු පිණිස ආකර්ෂණීය උපාය මාර්ගයක්‌ ලෙස නොමනා ලෙස ලිංගිකත්වය උලුප්පා දැක්‌වීම.

ගමේ නායකත්වයන් අවතක්‌සේරුවට ලක්‌වීම හා ඔවුන් තුළ තිබූ ප්‍රභූත්වය නොසලකා හැරීම.

ඉහත සඳහන් කළ ගොනු කිරීම්වලට අමතරව වෙනත් කරුණු බොහෝ සේ තිබිය හැකිය. අද බොහෝ භික්‍ෂූන්වහන්සේලා දේශපාලන අතකොලු බවට පත්වීම නිසා දේශපාලන විරුද්ධවාදීන් වර්ධනය කොටගෙන සිටිති. ප්‍රතිවිරුද්ධ කල්ලි විසින් එල්ල කරනු ලබන චෝදනා සත්‍යාසත්‍යතාවය කෙසේ වෙතත් නිර්දය ලෙස චරිත හානියකට තුඩු දෙන සේ ප්‍රචාරය වෙයි. මා කියන මේ කරුණ වඩාත් පැහැදිලි යථාර්ථයක්‌ වන්නේ චෝදනා ලද භික්‍ෂූන් වහන්සේ රාජ්‍ය පාක්‍ෂික නොවී විරුද්ධ පාක්‍ෂික කඳවුරක්‌ ඇසුරු කරන විටයි.

උදාහරණයක්‌ ලෙසින් මම මෙසේ ප්‍රකාශ කරමි. ජාතික හෙළ උරුමය රජයට පක්‍ෂව නොසිටි මුල් අවධියේදී පාර්ලිමේන්තුවේ කතානායක ධුරය එවකට එ.ජා.ප. මන්ත්‍රීවරයකු වූ වි.ජ.මු. ලොකුබණ්‌ඩාර මහතාට ලබාදීමට යෝජනා වූ මොහොතේ ඡන්ද විමසීමක්‌ සිදුවිය. ජාතික හෙළ උරුමයේ මන්ත්‍රී හාමුදුරුවරු එ.ජා. පක්‍ෂයට ඡන්දය දීම නිසා ඇති වූ කලබැගෑනිය භික්‍ෂූන් වහන්සේලා යම් යම් අතවරයන්ට ලක්‌වීම තෙක්‌ වර්ධනය විය. අවසානයේ කොලොන්නාවේ සුමංගල නාහිමියන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්‌වූයේ ලංකාවේ දේශපාලනය බෞද්ධ භික්‍ෂුවකට තරම් නොවන බව පසක්‌ කරමිනි.

දැන් ජාතික හෙළ උරුමය රජය සමඟ යෝධ සංවර්ධන ව්‍යාපෘති රැසකට අතගසා සිටින බැවින් ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත්වනතුරු ආශිර්වාද කරන්නට සූදානමින් සිටිති. "රටේ තියෙන නිධන් ආණ්‌ඩුවට අයිති බැවින් ඒවා ගත යුතුය." යන නිගමනයේ සිටින අතිපූජ්‍ය එල්ලාවල මේධානන්ද පුරාවිදු සක්‌විති හිමියන් එම යථාර්ථය මනා ලෙස තේරුම්ගත් පඬිරුවනකි.

බුදුසසුන වත්මනෙහි අභියෝග රැසකට මුහුණදී තිබේ. බොහෝ දහම් රැලි විවිධ නම්වලින් ආලෝකධාරා නිකුත් කරමින් නැගී සිටි ඇතැම් තැනක ගිහියෝ බුදුවෙති. තවත් තැනක ගිහි වෙසින් මෛත්‍රී බුදුන් පහළ වී සිටී. විවිධ වෙළෙඳ සමාගම්වල වෙළඳ ප්‍රචාර සඳහා මුදල් යොදා ප්‍රචාරය කළ රූපවාහිනී වැඩසටහන් තුළින් ජනප්‍රිය වූ සමහර වියතුන් වහන්සේලා සෙසු සංඝ සමාජය බරපතළ ලෙස විවේචනය කරමින් කැපී පෙනෙන්නට උත්සාහ දරති. ඇතැම් හිමිවරු අමුතු අමුතු දේශනාවන් මගින් බෞද්ධයන්ගේ සාම්ප්‍රදායික සිරිත් විරිත් පවා විකෘති කරමින් සිටිති. මේ සියල්ල මෙසේ සිදුවෙද්දී මනාප ප්‍රත්‍යයෙන් සැනසෙන ඇතැම් හිමිවරුන්ට තිබෙන යුගයේ ප්‍රධානම ප්‍රශ්නය වන්නේ "පූජ්‍ය පක්‍ෂයට මැතිවරණ සඳහා ඉදිරිපත් වීම තහනම් කිරීමට ගෙන එන පාර්ලිමේන්තු යෝජනාවයි."

මෙවන් පසුබිමක දෝලනය වන ලාංකීය සමාජයට උජුපටිපන්න ගුණයෙන් හෙබි අවංක හා නිර්ව්‍යාජ ග්‍රාමීය නායකත්වයක අවශ්‍යතාවය තදින් දැනේ. එය ගොඩනැගීමට හැකි ශක්‌තිය ඇත්තේ ද උගත් සිල්වත් තරුණ භික්‍ෂූන්වහන්සේලාටයි. සාම්ප්‍රදායික ආගමික හරයන් රැකගෙන ගතානුගතික මිත්‍යාවන්ගෙන් බැහැරව ප්‍රත්‍ය ආයාචනයන්ගෙන් සැදැහැවතුන් නොපෙලා "මල නොතලා රොන් ගන්නා සේ" යන බුදුවදනට අනුව ගම තුළ ගොඩනගා ගත යුතු සැබෑ නායකත්වය කල්ලිවාද පක්‍ෂවාද වලින් බැහැරව පූජනීය කරගත යුතුයෑයි අපි බැති සිතින් ආරාධනා කර සිටිමු.

වික්‍රමසිංහ අතපත්තු

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.