ත්‍රි'මලේ අපේක්‍ෂකයාට
සන්ධානයෙන් තැනක්‌ නොලැබේ
නැගෙනහිර සටනට
ජා.නි.පෙ. තනිවම


අකිත පෙරේරා, ත්‍රිකුණාමලය - සමන් මල්ලවාරච්චි

ඉදිරි නැගෙනහිර පළාත් සභා මැතිවරණය සඳහා ජාතික නිදහස්‌ පෙරමුණ පංචායුධය ලකුණ යටතේ තනිව තරග කිරීමට සූදානම්ව සිටී.

ජා.නි.පෙ. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය සමඟ හවුල්කාර පක්‍ෂයක්‌ ලෙස මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට නියමිතව සිටියද එම පෙරමුණේ ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌ අපේක්‍ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීS ජයන්ත විඡේසේකර මහතාට සන්ධාන අපේක්‍ෂකත්වය නොලැබීම නිසා ජා.නි.පෙ. මෙලෙස තනිව තරග කරනු ඇත.

කෙසේ වෙතත් නැගෙනහිර පළාත් සභාව සඳහා ජා.නි.පෙ. විසින් අම්පාර දිස්‌ත්‍රික්‌කය සඳහා යෝජනා කළ අපේක්‍ෂකයාට සන්ධාන අපේක්‍ෂකත්වය හිමිව ඇති නමුත් ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයෙන් එම නියෝජනය නොලැබීම නිසා එම අපේක්‍ෂකයා ද සන්ධාන ලැයිස්‌තුවෙන් ඉවත්ව ජා.නි.පෙ. යටතේ තරග කිරීමට නියමිතය.

මේ සම්බන්ධව ඊයේ (16 වැනිදා) සවස විශේෂ සාකච්ඡාවක්‌ පැවැත්වීමට නියමිත බව ද එහිදී නැගෙනහිර පළාත් සභාව සඳහා තනිව තරග කරන්නේ ද යන වග තීරණය කරන බව ද ජා.නි.පෙ. ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ මහතා "දිවයින" ට පැවසීය.

ජයන්ත විඡේසේකර මහතාට සන්ධාන අපේක්‍ෂකත්වය හිමි නොවන්නේ නම් අනිවාර්යයෙන්ම ජා.නි.පෙ. නැගෙනහිර තුළ තනිව තරග කිරීමට පසුබට නොවන බව ද හෙතෙම කීය.

මේ පිළිබඳව හිටපු ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත විඡේසේකර මහතාගෙන් "දිවයින" කළ විමසීමකදී කියා සිටියේ සන්ධාන අපේක්‍ෂකත්වය නොලැබෙන්නේ නම් තනිව තරග කරන බවයි.

ඒ සඳහා ඉල්ලීම් ද බහුලව තමන්ට ලැබෙන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.