වව්නතිව් මංගල සාදයකදී
ආහාර විෂ වී 400ක්‌ රෝහලේ


චමින්ද සිල්වා, මඩකලපුව - ජවුෆර් ඛාන් සහ මඩකලපුව විශේෂ මොහමඩ් ගවුස්‌

මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ වව්නතිව් පොලිස්‌ වසමට අයත් කොන්තියාහුල ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයකට පෙරේදා (15 වැනිදා) රාත්‍රි සහභාගි වූ 400 ක පමණ පිරිසක්‌ රෝගීවීම නිසා ඊයේ (16 දා) අලුයම මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇත.

හින්දු චාරිත්‍රානුකූලව සිදු කෙරුණු විවාහ මංගල්‍ය උත්සවයට සහභාගි වී කුකුළු මස්‌ ආහාරයට ගත් පිරිස මෙලෙස රෝගාතුර වී ඇතැයි වව්නතිව් පොලිසියේ උසස්‌ නිලධාරියෙක්‌ පැවසීය.

මේ පිරිස්‌ වමනය, අජීර්ණය වැනි රෝගී තත්ත්වය හේතුවෙන් පළමුව තාන්ඩිකුලම රෝහලටත් ඉන් පසුව මඩකලපුව රෝහලටත් ඇතුළත් කර තිබේ. රෝගී වූ පිරිස්‌ අතර පාසල් දරුවෝ ද සිටිති.

රෝහල්ගත කළ පිරිසට ප්‍රතිකාර ලබාදීමට පියවර ගෙන තිබූ අතර මේ අයගේ තත්ත්වය බරපතළ නැතැයි රෝහල් ප්‍රකාශකයෙක්‌ "දිවයින" ට පැවසීය. වව්නතිව් පොලිස්‌ ස්‌ථානාධිපති එම්. ප්‍රනාන්දු මහතාගේ උපදෙස්‌ මත සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.