එජනිස සමඟ ගිවිසුමට මුස්‌ලිsම්
කොංග්‍රසය අද අත්සන් තබයි


රනිල් ධර්මසේන

ඉදිරි පළාත් සභා මැතිවරණයට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය යටතේ තරග කිරීම පිළිබඳව ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය සන්ධානය සමඟ අද (17 වැනිදා) අවබෝධතා ගිවිසුමක්‌ අත්සන් කිරීමට නියමිතය. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය වෙනුවෙන් එහි මහ ලේකම් ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතාත් මුස්‌ලිම් කොංග්‍රසය වෙනුවෙන් එහි මහ ලේකම් හසන් අලි මහතාත් අවබෝධතා ගිවිසුමට අත්සන් තබන බව පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ පැවසීය.

කොංග්‍රසය, ආණ්‌ඩුව සමඟ එක්‌ව මැතිවරණයට තරග කිරීමට පක්‍ෂයේ දැඩි අර්බුදයක්‌ උද්ගත වූ අතර ඒ පිළිබඳව ඊයේ (16 වැනිදා) පෙරවරුවේ පක්‍ෂයේ උත්තරීතර මණ්‌ඩලය රැස්‌වී විශේෂ සාකච්ඡාවක්‌ පවත්වනු ලැබීය. සාකච්ඡාව පැය තුනකට වැඩි කාලයක්‌ පැවැති බව ද එම ප්‍රකාශකයා කීය.

ආණ්‌ඩුව සමඟ එක්‌වී මැතිවරණයට තරග කිරීමට නම් නැගෙනහිර පළාත් මහ ඇමැති ධුරයත්, පළාත් ඇමැති ධුර දෙකක්‌ හා ප්‍රසාද මන්ත්‍රී ධුරයක්‌ ඇතුළු ඉල්ලීම් කිහිපයක්‌ රජයට ඉදිරිපත් කළ නමුත් අද අත්සන් කරනු ලබන ගිවිසුමේ ඉහත කිසිදු ඉල්ලීමක්‌ ඇතුළත්ව නැති බව එම ප්‍රකාශකයා පැවසීය.

කෙසේ නමුත් අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව පක්‍ෂයේ උත්තරීතර මණ්‌ඩලය යළිත් වරක්‌ අද දහවල් රැස්‌වීමට තීරණය කර ඇත. එජනිසය යටතේ නැගෙනහිර පළාත් සභාවට තරග කිරීමට මුස්‌ලිම් කොංග්‍රසයට ලැබෙනුයේ අපේක්‍ෂක ධුර 12 ක්‌ පමණි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.