එජාපය සමඟ එක්‌වන බවට
ෆොන්සේකාගෙන් ඉල්ලීමක්‌ ලැබී නෑ

පියසේන දිසානායක

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා එක්‌සත් ජාතික පක්‍ෂය සමඟ එක්‌වන බවට කිසිදු පැහැදිලි හා විධිමත් ඉල්ලීමක්‌ ඊයේ (16 වැනිදා) වනතෙක්‌ සිය පක්‍ෂය වෙත ලැබී නොතිබූ බව එ.ජා.ප. මහලේකම් තිස්‌ස අත්තනායක මහතා "දිවයින" ට පැවසීය. එක්‌සත් ජාතික පක්‍ෂයට  එක්‌වීම සම්බන්ධව ඔහු පැහැදිලි හා විධිමත් ඉල්ලීමක්‌ කරන්නේ නම් පක්‍ෂයේ පවතින ක්‍රමවේදයට අනුව කෘත්‍යාධිකාරී මණ්‌ඩලය ඒ ගැන සාකච්ඡා කොට තීන්දුවක්‌ ගන්නා බව හෙතෙම කීය.

ෆොන්සේකා මහතා එක්‌සත් ජාතික පක්‍ෂය සමඟ එක්‌වන බවට ගෙන යන ප්‍රචාරය සම්බන්ධව "දිවයින" කළ විමසුමකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළ අත්තනායක මහතා ඕනෑම අයකුට එක්‌සත් ජාතික පක්‍ෂයේ සාමාජිකත්වය ලබාගත හැකි බවත් ඒ සඳහා පැහැදිලි හා විධිමත් ක්‍රමවේදයක්‌ තිබෙන බවත් පෙන්වා දුන්නේය.

කිසියම් දේශපාලන පක්‍ෂයක්‌ හෝ නායකයෙක්‌ එක්‌සත් ජාතික පක්‍ෂය සමඟ එක්‌වෙනවා නම් ඔහු නායකත්වය දරන පක්‍ෂය විසුරුවා හැර එජාපයේ සාමාජිකත්වය ලබාගත යුතු අතර සරත් ෆො
න්සේකා මහතාට ද එම ක්‍රමවේදය වලංගු බව ඒ මහතා කීය.

සරත් ෆොන්සේකා මහතාට එක්‌සත් ජාතික පක්‍ෂය සමඟ එක්‌වන ලෙස මුලින්ම තමා සහ ජෝෂප් මයිකල් පෙරේරා මහතා විවෘත ආරාධනයක්‌ කළ අතර ඊට මෙතෙක්‌ කිසිදු ප්‍රතිචාරයක්‌ ලැබී නැති බව අත්තනායක මහතා සිහිපත් කළේය.

එලෙස ප්‍රතිචාර නොදක්‌වා එක්‌සත් ජාතික පක්‍ෂය සමඟ එක්‌වීමට සූදානම් බවට පුවත්පත් මගින් හා වෙනත් පුද්ගලයන් මාර්ගයෙන් ප්‍රචාරය කරවීම විධිමත් ක්‍රමවේදයක්‌ නොවන බව හෙතෙම පවසයි.

වත්මන් ආණ්‌ඩුවේ ක්‍රියාකලාපය නිසා රට අර්බුද රැසකට තල්ලු වී ජනතාව දැඩි පීඩාවන්ට මුහුණපා සිටින බව පෙන්වා දුන් අත්තනායක මහතා රටත් ජනතාවත් ආරක්‍ෂා කර ගැනීම සඳහා සිය නායකත්වය යටතේ විපක්‍ෂයේ අනෙකුත් දේශපාලන පක්‍ෂ එක්‌කර ගනිමින් ඒකාබද්ධ විපක්‍ෂයක්‌ ලෙස කටයුතු කරගෙන යන බවත් රට ගැන ජනතාව ගැන අවංකව කල්පනා කරන ඕනෑම දේශපාලන පක්‍ෂයකට ඒ පොදු වැඩපිළිවෙළ සමඟ එක්‌විය හැකි බවත් පැවසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.