ආරක්‍ෂක අමාත්‍යංශයේ විරෝධයෙන්
බන්ධනාගාර "වීර විභූෂණය"
ලත් තැනම ලොප් වෙයි ·

සමන් ගමගේ

බන්ධනාගාර දිනය නිමිත්තෙන් උසස්‌ බන්ධනාගාර නිලධාරීන් පිරිසකට වීර විභූෂණ පදක්‌කම් පැළඳවීමට සංවිධානය කර තිබූ උත්සවයක්‌ ආරක්‍ෂක අමාත්‍යංශය මගින් අත්හිටුවා තිබේ. බන්ධනාගාර අමාත්‍යංශය විසින් එම දිනය නිමිති කොටගෙන සංවිධානය කර තිබූ මෙම උත්සවය කොළඹ ආනන්ද විදුහලේ කුලරත්න ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

බන්ධනාගාර අමාත්‍යංශය සහ දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් පිරිසකගේ අදහසකට අනුව සංවිධානය කර තිබූ මෙම උත්සවයේදී උසස්‌ බන්ධනාගාර නිලධාරීන්ට වීර විභූෂණ නමින් පදක්‌කමක්‌ පැළඳවීමට ද සැලසුම් කර තිබී ඇත.

එහෙත් කිසිදු ක්‍රියාන්විත රාජකාරියක නිරත නොවී නිල ඇඳුමක්‌ ඇඳ සිරකරුවන් බලා ගැනීමේ පමණක්‌ යෙදී සිටින නිලධාරීන් මෙසේ වීර විභූෂණ පදක්‌කම් පැළඳගැනීම වීරෝදාර රණවිරුවනට කරනු ලබන අවමානයක්‌ වන බැවින් ආරක්‍ෂක අමාත්‍යංශය විසින් මෙය වහාම නවතා දමා තිබෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තු අභ්‍යන්තරයෙන් වාර්තා වේ.

මෙම උත්සවයේදී පදක්‌කම්ලාභීන් ලෙස තෝරා ගැනුණු නිලධාරීන් අතර වංචා හා දූෂණ සම්බන්ධව චෝදනා ලැබ විනය පරීක්‍ෂණ කිහිපයක්‌ම පැවැත්වෙමින් ඇති නිලධාරීන් ගණනාවක්‌ම ඇතුළත්ව සිටින බව සඳහන් වේ.

අදාළ උත්සවය සඳහා ආහාරපාන සඳහා යෑයි කියමින් එක්‌ උසස්‌ බන්ධනාගාර නිලධාරියකු දෙපාර්තමේන්තු මුදල්වලින් රුපියල් ලක්‍ෂ 05 ක පමණ මුදලක්‌ වැයකර ඇතැයි ද සඳහන්ය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.