ඇඹිලිපිටියේදී  වෑන් දෙකක්‌ ගැටී  අයෙක්‌ මරු දකී

උඩවලව - එච්. එස්‌. අබේරත්න

ඇඹිලිපිටිය - රත්නපුර මාර්ගයේ 96 කණුව ප්‍රදේශයේදී, ඇඹිලිපිටිය සිට රත්නපුර දෙසට ගමන්කළ වෑන් රථයක්‌, එම දිසාවට ගමන්කළ බස්‌රථයක්‌ පසුකර යැමේදී, ඉදිරියෙන් පැමිණි වෑන් රථයක මුහුණට මුහුණ ලා ගැටීමෙන් අනතුරට පත්වී එක්‌ අයෙක්‌ මියගොස්‌ ඇත. පෙරේදා (15දා) සවස මෙය සිදු වී ඇත.

ඇඹිලිපිටියේ සිට රත්නපුර දෙසට ගමන් කළ වෑන් රථයේ එහි අයිතිකරු හා තවත් පුද්ගලයන් දෙදෙනකු සිටි අතර එය හා ගැටුණු වෑන් රථයේ කාන්තාවන් තිදෙනකු හා පිරිමින් දෙදෙනකුද භික්‍ෂූන් වහන්සේ නමක්‌ද සිට ඇත. එය හබරණ පළුගස්‌වැව ප්‍රදේශයේ වෑන් රථයකි. මියගොස්‌ ඇත්තේ එහි සිටි එක්‌ පිරිමි අයෙකි. වෑන් රථ දෙකේ සිටි 8 දෙනා ඇඹිලිපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබති.

අනතුරට හේතුව ඇඹිලිපිටිය සිට රත්නපුර දෙසට ගමන් කළ වෑන් රථයේ රියෑදුරාගේ නොසැලකිල්ල බව පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධව ඇඹිලිපිටිය පොලිස්‌ රථ වාහන අංශයේ ස්‌ථානාධිපති ඩබ්. එම්. ඡේ. බණ්‌ඩාර මහතා ඇතුළු කණ්‌ඩායමක්‌ පරීක්‍ෂණ පවත්වති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.