වෛද්‍ය සමිතා සමන්මලී වන්දි නඩුව
වැස්‌සෙන් බේරෙන්න හට්‌ එකට ගියා
වෛද්‍ය සමිතා සමන්මලී සාක්‍ෂි දෙමින් කියයි

පියදාස රණසිංහ

"හෙල්ප් සමිතා" නමින් මා වෙනුවෙන් "දිවයින" පත්‍රයෙන් අරමුදලක්‌ ආරම්භ කර ඇති බව මා කලින් දැන සිටියේ නැහැ. ඒ බව මා දැනගත්තේ මගේ පැකල්ටියේ මිතුරන්ගෙන්. ඇක්‌සිඩන්ට්‌ එකෙන් පස්‌සෙ මගේ යාළුවන් කීවා මා වෙනුවෙන් පන්ඩ් එකක්‌ ආරම්භ කර ඇති බව.

කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැති "මෙඩෙක්‌ස්‌" 2008 වෛද්‍ය ප්‍රදර්ශනය සංවිධානය කරන අවස්‌ථාවේ ප්‍රදර්ශන කුටියක යකඩ බටයක්‌ හිස මත කඩාවැටීමෙන් සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වූ බවට හා ඊට වගකිව යුතු සම්මන්ත්‍රණ ශාලා පාලනාධිකාරියෙන් රුපියල් කෝටි 20 ක වන්දි මුදලක්‌ ඉල්ලා වෛද්‍ය සමිතා සමන්මලී මෙනවිය කොළඹ දිසා අධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාගයට ගත් අවස්‌ථාවේ සාක්‍ෂි දෙමින් පැමිණිලිකාර සමිතා සමන්මලී එසේ ප්‍රකාශ කළාය.

කොළඹ දිසාවිනිසුරු ධම්මික ගනේපොල මහතා හමුවේ ඊයේ (ජුලි 16) සවස නඩුව විභාගයට ගන්නා ලදී. පිළියන්දල මකුළුදූවේ පදිංචිකාරියක වන මැය කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍යාවක්‌ව සිටියදී පසුගිය 2008 පෙබරවාරි මාසයේ කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැති ඉහත කී ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කුටි සංවිධානය කිරීමට යැමේදී මැය මෙම අනතුරට ලක්‌වී ඇත.

මෙහිදී වගඋත්තරකාර සම්මන්ත්‍රණ ශාලා පාලනාධිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එන්. ආර්. සුවෙන්ද්‍රන් මහතාගේ හරස්‌ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැමිණිලිකාර වෛද්‍ය සමිතා සමන්මලී මෙනෙවිය මෙසේ පැවැසුවාය.

නීතිඥ එන්. ආර්. සුවෙන්ද්‍රන් මහතා - පසුගිය නඩු වාරයේදී සාක්‍ෂි දෙමින් තමා කීවා "හෙල්ප් සමිතා" නමින් ආරම්භ කළ පන්ඩ් එක (අරමුදල) ගැන තමා දන්නේ නැහැ කියා?

සාක්‍ෂිකාර සමිතා සමන්මලී - මා කීවේ "දිවයින" පත්‍රයෙන් ලැබුණු මුදල කොපමණදැයි නොදන්නා බවයි.

විත්තියේ නීතිඥ - ඒ පන්ඩ් එක පටන් ගත්තේ අනතුර සිදුවී සති දෙකකට පසුව බව කියන එක හරිද?

සමිතා සමන්මලී - මුල් කාලයේ මා ඒ බව දැන සිටියේ නැහැ. ඇක්‌සිඩන්ට්‌ එකෙන් පස්‌සේ මගේ යාළුවන් කීවා "දිවයින" පත්‍රයෙන් මා වෙනුවෙන් අරමුදලක්‌ ආරම්භ කළ බව.

වි. නීතිඥ - බී. එම්. අයි. සී. එච්. එකෙන් සියයට හැත්තෑ පහක ඩිස්‌කවුන්ට්‌ දීල කියල කීවද?

සමිතා සමන්මලී - මා ඒ ගැන බී.එම්.අයි.සී.එච්. එකෙන් අහල බැලුව. 75% ඩිස්‌කවුන්ට්‌ එකක්‌ දෙනව කියල පොරොන්දු වෙලා තිබුණෙ.

වි. නීතිඥ - සමිත් රෝෂා කියන අය තමා දන්නවද?

සාක්‍ෂිකාරිය - ඔව් එයා ජූනියර් ට්‍රෙෂරර්.

නීතිඥ - තමා දන්නවද බී.එම්.අයි.සී.එච්. එකේ සභාපති කවුද කියල.

සමිතා සමන්මලී - බන්දුල ඒකනායක කියල කෙනෙක්‌.

වි. නීතිඥ - එයා ඩිරෙක්‌ටර් කියල දන්නෙ නැද්ද? මා යෝජනා කරනවා මේ ඩිස්‌කවුන්ට්‌ එකේ සියයට හැත්තෑපහ දීල තියෙන්නෙ ජනාධිපති උපදෙස්‌ මත තමාගේ අරමුදලට දාන්න කියල.

සමිතා සමන්මලී - සියයට හැත්තෑ පහක ඩිස්‌කවුන්ට්‌ එක දෙනව කියල පොරොන්දු වුණේ ඇක්‌සිඩන්ට්‌ එක වෙන්න කලින්.

නීතිඥ- බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍ර ශාලා (බී.එම්.අයි.සී.එච්.) පරිශ්‍රය දිනපතා ක්‍රියාකාරකම් කිහිපයක්‌ කළ හැකි ස්‌ථානයක්‌. එය නරඹන්නට පිට පළාත්වලිනුත් මිනිස්‌සු එනව කියල තමා දන්නවද?

සමිතා සමන්මලී - මා දන්නේ නැහැ.

වි. නීතිඥ - තමා දැකල නැද්ද ස්‌කෝලෙ ළමයි පවා එන බව.

සාක්‌ෂිකාරිය - ප්‍රදර්ශන බලන්න නම් එන බව දන්නවා.

වි. නීතිඥ - තමා දන්නව 2008 පෙබරවාරි 15 වන විට ප්‍රදර්ශනයක්‌ තිබුණා, ඊට පස්‌සෙත් තිබුණ, මේ සිද්ධිය ඇතිවුණ කඩාවැටුණ කුටිය "දැයට කිරුළ" ප්‍රදර්ශනයේ කුටියක්‌ බව දැනගත්තද?

සාක්‍ෂිකාරිය - කඩාවැටුණු කුටිය "දැයට කිරුළ" ප්‍රදර්ශනයට හදල තිබුණ එකක්‌ බව මා දැනගත්තේ අනතුර සිදු වුණාට පස්‌සෙ.

වි. නීතිඥ - "දැයට කිරුළ" ප්‍රදර්ශනය මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වුණේ?

සාක්‍ෂිකාරිය - මා දන්නේ නැහැ. මට ඒ ගැන සොයන්න අවශ්‍යතාවක්‌ තිබුණේ නැහැ.

වි. නීතිඥ - 2008.02.15 දින තමාගේ කණ්‌ඩායම බී.එම්.අයි.සී.එච්. එකත් එක්‌ක මේ සංවිධාන කටයුතු ගැන සාකච්ඡාවක්‌ තිබුණද?

සාක්‍ෂිකාරිය - නැහැ ස්‌වාමීනි, අපි ගියේ සාකච්ඡා කරන්න නොවෙයි.

වි. නීතිඥ - තමා එදා ප්‍රදර්ශනය තිබුණු තැන බැලුවා. සිරිමාවෝ බණ්‌ඩාරනායක හෝල් එකේ ඒක තිබුණෙ?

සාක්‍ෂිකාරිය - නැහැ. හෝල් එක ඉස්‌සරහ. අපි එදින වැඩ ඉවර කරල යන්න ලෑස්‌තිවෙලා හිටියා. වැස්‌සට කලින් යන්න ඕනැ කියල වැස්‌ස පටන් ගත්තහම අපි හට්‌ එකට ගියා. එතැන වාහන කීපයක්‌ නවතා තිබුණා.

පැමිණිලිකාරිය වෙනුවෙන් නීතිඥ ජී. ජී. අරුල් ප්‍රකාශම් මහතාගේ උපදෙස්‌ ඇතිව ජනාධිපති නීතිඥ විඡේදාස රාජපක්‍ෂ සහ නීතිඥ නිලන්ත කුමාරගේ යන මහත්වරු පෙනී සිටියහ.

වගඋත්තරකාර සම්මන්ත්‍රණ ශාලා පාලනාධිකාරිය වෙනුවෙන් මුරුගේසු සහ නීලකන්දන් නීතිඥ සමාගමේ උපදෙස්‌ මත නීතිඥ මොක්‌ෂණී ජයමාන්න, නීතිඥ එන්. ආර්. සුවෙන්ද්‍රන් යන මහත්වරු පෙනී සිටියහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.