ජනපති විත්තිකරුවකු කර ඇති නිසා
මූලික අයිතිවාසිකම් පෙත්සම් අහක දැමිය යුතුයි

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා

ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ නඩුව

සරත් ධර්මසේන

"ගෝල්ඩන් කී" තැන්පත්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරනු ලැබ ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් නඩුවල ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වගඋත්තරකරුවකු ලෙස නම්කර ඇති බැවින් එම නඩු විභාගයට නියම කරන්නේවත් නැතිව අහක දැමිය යුතු යෑයි කියා සිටිමින් සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති ලලිත් කොතලාවල මහතා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඊයේ මූලික විරෝධයක්‌ මතු කළ අතර ඒ පිළිබඳ තීන්දුවක්‌ ප්‍රකාශ කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දින නියමයක්‌ නැතිව පසුවට කල්තැබුවේය.

කොතලාවල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ප්‍රථමයෙන් මූලික විරෝධය මතුකරමින් කියා සිටියේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 14 (1) වගන්තියට අනුව ජනාධිපතිවරයා විත්තිකරුවකු වශයෙන් නම් කර පවරන නඩු නීතියට අනුකූල නොවන බවයි. නඩුවලට උසාවි යැමෙන් වැළකී සිටීමට ජනාධිපතිවරයාට විශේෂ මුක්‌තියක්‌ ලබාදී ඇති බවත් ජනාධිපතිවරයා විත්තිකරුවකු කළ නඩු ගණනාවක්‌ මීට පෙර උසාවිවලින් ප්‍රතික්‌ෂේප වී ඇති බවත් පෙන්වා දුන්නේය.

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අයත් ගෝල්ඩන් කී සමාගමේ අධ්‍යක්‍ෂවරුන් කීප දෙනකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ µdයිස්‌ මුස්‌තාපා මහතා ද, මහ බැංකුවේ මූල්‍ය මණ්‌ඩලය වෙනුවෙන් හා නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල් විරාඡ් දයාරත්න මහතා ද එම මූලික විරෝධයට පක්‍ෂව කරුණු ඉදිරිපත් කළහ.

ගෝල්ඩන් කී අධ්‍යක්‍ෂවරු සහ මහ බැංකුවේ මූල්‍ය මණ්‌ඩලයද තැන්පත්කරුවන්ගේ පෙත්සම්වල වගඋත්තරකරුවෝ වෙති.

"ගෝල්ඩන් කී" සමාගමේ මුදල් තැන්පත්කරුවන් වෙනුවෙන් මහාචාර්ය එච්. එම්. සප්රුල්ලා මහතා මීළඟට කරුණු දක්‌වමින් පෙත්සම්වල ජනාධිපතිවරයාගේ නම වගඋත්තරකරුවකු ලෙස සඳහන් කර ඇත්තේ ඔහු මුදල් අමාත්‍ය ධුරය දරන නිසා බවත්, මුදල් ඇමැතිගෙන් හැර ජනාධිපතිගෙන් සහනයක්‌ පෙත්සම්කරුවන් අපේක්‌ෂා නොකරන බවත් කීය.

ජනාධිපතිවරයා පෙත්සම්වල වගඋත්තරකරුවකු හැටියට නම් කර තිබීම වරදක්‌ නම් ඒ නම කපා හැර ඉතිරි වගඋත්තරකරුවන්ට එරෙහිව තැන්පත්කරුවන්ගේ නඩුව ඉදිරියට ගෙන යැමට අනුමැතිය දෙන ලෙස ද මහාචාර්ය සපරුල්ලා මහතා ඉල්ලා සිටියේය.

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක, කේ. ශ්‍රීපවන් සහ සත්‍ය හෙට්‌ටිගේ යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම් ඊයේ කැඳවන ලදී.

ගෝල්ඩන් කී සමාගමේ තැන්පත් කළ මුදල් ඉල්ලා ලලිත් කොතලාවල මහතා හා එම සමාගමේ අධ්‍යක්‍ෂවරුන් ඇතුළු කීප දෙනකුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර මේ වනවිට වසර 03 ක්‌ පමණ ගතවී ඇත.

පෙත්සම් පිළිබඳව විභාගයක්‌ පැවැත්වීමට පෙර අදාළ සියලුම පාර්ශ්වයන් සහභාගි කරවා ගෙන එම ආරවුල විසඳීමට ශ්‍රේෂ්ඨාධිකරණය ගතවූ කාල සීමාව තුළ සෑහෙන උත්සාහයක්‌ ගන්නා ලදී.

ගෝල්ඩන් කී සමාගමේ සභාපති ලලිත් කොතලාවල මහතා ඇතුළු අධ්‍යක්‍ෂවරුන් සියලු දෙනාගේම චංචල හා නිශ්චල දේපළ උසාවිය භාරයට ගන්නා ලදී. එම සමාගම සතුව තිබූ රෝහල්, ඉඩම්, ගොඩනැඟිලි හා ව්‍යාපාරික ස්‌ථාන කීපයක්‌ද අලෙවි කරගනු ලැබූ අතර තවත් දේපළ කිහිපයක්‌ අලෙවි කිරීමටද සැලසුම් කර තිබිණි.

එම කාර්ය පවරා තිබූ කමිටුවේ සභාපති මහාචාර්ය වටවල මහතා ඊයේ උසාවියට දන්වා සිටි අන්දමට මේ වනවිට රුපියල් මිලියන 600 ක්‌ පමණ රැස්‌කරගෙන ඇත. එහෙත් ආරවුලට අවසන් විසඳුමක්‌ ඇතිකර ගත නොහැකිවූ බැවින් පෙත්සම් පිළිබඳ විභාගයක්‌ පවත්වා තීන්දුවක්‌ ප්‍රකාශයට පත්කිරීමට අගවිනිසුරුවරිය ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඉකුත් නඩු දිනයේදී තීරණය කළහ.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු එකී මූලික විරෝධය මතුකළේ පෙත්සම් ඊයේ කැඳවූ අවස්‌ථාවේදීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.