කුඩා කල සිටම සිංහල, දෙමළ,
මුස්‌ලිම් වශයෙන් පාසල් වෙන් නොකර
ජාතීන් අතර සුහදත්වය ගොඩනැඟීමේ
කාර්යය පාසලෙන්ම ඇරැඹිය යුතුයි

සමාජ ඒකාබද්ධතා සතියේ සමාරම්භක
උළෙල අමතමින් ජනාධිපතිවරයා පවසයි

අනුර බාලසූරිය

ජාතීන් අතර සමානාත්මතාව කුඩා කල සිටම ගොඩනැඟිය යුතු දෙයක්‌. නමුත් අපි සිංහල, දෙමළ, මුස්‌ලිම් වශයෙන් පාසල් වෙන්කර කුඩාකල සිටම දරුවන්ට උගන්වන්නේ වෙන් වෙන්ව ජීවත් වෙන්නයි. එමනිසා ජාතීන් අතර සුහදත්වය ගොඩනැඟීමේ කාර්යය අපි පාසලෙන්ම ආරම්භ කළ යුතු යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

අරලියගහ මන්දිරයේ දී ඊයේ (16 දා) පැවැති සමාජ ඒකාබද්ධතා සතියේ සමාරම්භක උළෙල අමතා ජනාධිපතිවරයා මේ බව පැවසීය.

සමාජ ඒකාබද්ධතා ප්‍රතිපත්ති රාමුව, තේමාව හා ලාංඡනය, අමාත්‍යාංශ වෙබ් අඩවිය සහ ත්‍රිභාෂා විද්යුත් ශබ්ද කෝෂය එළිදැක්‌වීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

මෙහිදී ඇහැළියගොඩ, කරඳන ශ්‍රී ජිනරතන විද්‍යාලයීය සිසුන් විසින් ජාතීන් අතර සුහදත්වය විදහා දැක්‌වෙන ප්‍රසංගයක්‌ ඉදිරිපත් කෙරුණි.

ජනාධිපතිවරයා උත්සවය අමතා මෙසේද කීවේය.

අපි අපේ මාතෘ භූමිය එක්‌සේසත් කරලා විශාල විජයග්‍රහණයක්‌ ලබලා දැන් තුන් වසරක්‌ ගෙවිලා ගිහින් තියෙනවා. මේ විජයග්‍රහණය රැකගැනීම මේ ජයග්‍රහණය ලබා ගැනීම වාගේම අසීරු අමාරු දෙයක්‌ බව තමුන්නාන්සේලා වටහා ගන්න ඕනෑ. ත්‍රස්‌තවාදය වේවා එවන් ක්‍රියාකාරකම් වේවා නැවත වතාවක්‌ මේ රටේ ඇති නොවන තැනට වගබලා ගැනීමෙන් පමණයි මේ ජයග්‍රහණය ආරක්‌ෂා කරගන්න පුළුවන් වෙන්නේ. මේ නිසා අපි මේ සූදානම් වෙන්නේත් ඒ විජයග්‍රහණය රැක ගැනීමේ පියවරක්‌ ගැනීමට බව මම කියන්න ඕනෑ.

ත්‍රස්‌තවාදය මේ රටේ තිබුණ වකවානුවේ ජාතීන් අතර හොඳ හිත අවබෝධය ඇති කරන්න ව්‍යවස්‌ථා කටයුතු හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පිහිටුවලා තිබුණා. නමුත් ජාතීන් අතර අවබෝධයෙන් ජාතීන් අතරේÊතියෙන සුහදතාවයෙන් විතරක්‌, සාමකාමී නිවුන සැනසුන වාතාවරණයක්‌ මේ රටේ ඇති කරන්න නොහැකි බව අපිට වැටහුණා. ඊට වඩා ගැඹුරට අපි හිතන්න ඕනෑ. මේ රටේ ජීවත් වෙන ජාතීන් අතර සුහදතාව තිබුණත් ජාතිය ඇතුළෙ තියෙන ගැටුම් ඒ ඒ ජාතීන්වල විනාශයට හේතු වෙනවා. හරියට යකඩයක්‌ මළවලින්ම විනාශ වෙනවා වාගේ.

මිනිස්‌සු අතරේÊගැටුම් නොයෙක්‌ වෙනස්‌කම් පැවතුණේ අද ඊයේ විතරක්‌ නොවේ. වසර දහස්‌ ගණනක්‌ පුරා පැවතුණා. හැබැයි ඒකට විසඳුම් ඒ වකවානුවේදීම පැමිනුණා. අපේ බුදුරජාණන් වහන්සේ වසර දහස්‌ ගණනකට කලින් දේශනා කළා සත්වයන් අතර අපා, දෙපා, සිව්පා ආදී වශයෙන් ජාතීන් තිබුණත් මිනිසුන් අතර එබඳු වෙනසක්‌ නැති බව. එබඳු ජාති උස්‌ පහත් වෙනසක්‌ නැති බව. මේ දේශනාව ලෝකයට වාගේම අපේ රටට කොයිතරම් වැදගත්ද බව ඔබ තේරුම්ගත යුතුයි. මේ තමයි සියලු ආගම් නායකයන්ගේ පොදු දේශනාව. ඒ නිසා මේ ආගම් නායකයන්ගේ දේශනාව, ආගම අපි පිළිඅරගෙන විතරක්‌ මදි. පිළිපදින්නත් ඕනෑ කියන එකයි අපේ විශ්වාසය. පිළිපදින එකයි අමාරු.

මේ ගමන යන්න දේශපාලනඥයා වන අපෙන් පටන් ගන්න ඕනෑ. සමාජයට අපි ආදර්ශයක්‌ දෙන්න ඕනෑ. අපි මේ දේශනාවන් පිළිපදින්න ඕනෑ. තමුන්නාන්සේලා දන්නවා බලය ලබා ගන්න ඕනෑ වුණාම ඡන්දය ලබාගන්න සමහර දේශපාලනඥයො ඉතාම නරක විදිහට ජාති කුලමල භේද ඇද ගන්නවා. ජනාධිපතිවරණයේදීත් ඉතාම නරක විදිහට මේ කුල මල ප්‍රශ්න මතුකළා. ඒ අවුරුද්දෙ තිබුණ පාර්ලිමේන්තු මැතිවරණයේ දී මේ ප්‍රශ්න ඇද ගත්ත සමහර උදවිය ඉන් පස්‌සේ පාර්ලිමේන්තුවට ඇවිල්ලත් මේ ගැන දිගින් දිගට වාද කර ගන්න තත්ත්වයට පත්වෙලා. මේ තත්ත්වයෙන් අපි මිදෙන්න ඕන.

අපි දෙගොල්ලන්ටම ජාතීන් අතර ප්‍රශ්න විසඳගෙන ඉදිරියට යන්න පුළුවන් විය යුතුයි. පටු හැඟීම් පරාජය කර ඉදිරියට යා යුතුයි. අපි දෙගොල්ලන්ටම ඇතුළෙ තියෙන ප්‍රශ්න විස¹ ගන්න ජාතීන් හැටියට අපිට එකතු වෙන්න පුළුවන්. අපි දෙගොල්ලොම එකතුවෙලා අපි ඇතුළේ තියෙන වැරැදි ගැටලු ජාතීන් තුළ තිබෙන පටු හැඟීම් පරාද කරන්න ඕනෑ.

රැකියා අනුව කුල නාමවලින් හඳුන්වන ගම් තිබුණා. මේ ගම්වල නම් වෙනස්‌ කරන්න, කුල නාම කුල වාසගම් වෙනස්‌ කරන්න පාර්ලිමේන්තුවට එදා පුද්ගලික යෝජනාවක්‌ ගෙනාවා. අපට, රජයට මිනිසුන් අතර සමානතාව ගොඩනඟන්න තියෙන උවමනාව මේවායින් පෙනෙනවා. ඒ උවමනාව එදා ඉඳලම අපි තුළ තිබුණු දෙයක්‌. ඒක අදත් අපි අතර තිබෙනවා.

ජාතීන් අතර සමානාත්මතාව අපි කුඩා කාලේ ඉඳන්ම හදන්න ඕනෑ දෙයක්‌. අපි පාසල් වෙන් කරනවා. සිංහල, මුස්‌ලිම්, දෙමළ කියලා. අපි සුහදත්වය ගැන කතා කරනවා. නමුත් පොඩි කාලේ ඉඳලා උගන්වන්නේ වෙන්ව ජීවත් වෙන්න. අපි මේ කාර්යය පාසලින් ආරම්භ කරන්න ඕනෑ. ජාතීන් අතර සුහදතාව ගොඩනඟන්න පුළුවන් බාල කාලයේදීමයි. පාසලේදීමයි. මනුෂ්‍යයාගේ ආකල්ප හැඩ ගැහෙන්නේ ගොඩ නැඟෙන්නේ බාල කාලයේ. මුළු බාල කාලයම වයස 18 ක්‌ 21 ක්‌ වන තුරු සිංහල, දෙමළ, මුස්‌ලිම් ආදී වශයෙන් වෙන් වුණ පාසල්වල උගන්වලා පස්‌සේ අපි එකට ජීවත් වෙමු කියලා සියලු ජාතීන් ඉන්න සමාජයට නිදහස්‌ කරනවා. ඉන් පස්‌සෙ කියනවා සමගියෙන් ජීවත් වෙමු කියලා. අපේ විශ්වවිද්‍යාල අපිට විතරයි. වෙන කෙනකුට එන්න බැහැ කියන පටු මට්‌ටමට අපි වැටෙනවා. එහෙම කරලා ජාතික එකඟත්වයක්‌ ඇති කරන්න බැහැ. අපි තුළ ආගම් පිළිබඳ තිබෙන ගරුත්වය ඉතා වැදගත්. අපේ සමාජයේ ජාතීන් වශයෙන් පමණක්‌ නොව වෙනත් ආකාරවලටද එකිනෙකා වෙනස්‌ වෙනවා.

අපි ෙත්‍රෙභාෂා ප්‍රතිපත්තිය ගෙනාවේ ජාතීන් අතර තිබෙන අවිශ්වාසය දුරලන්න. මේ භාෂා පිළිබඳව ඉගෙන ගැනීම ඉතා වැදගත්. එම භාෂාවලින් අප කථා කරන විට අනෙක්‌ අය තුළ ඇතිවන අවිශ්වාසය සැකය නැති කරන්න පුළුවන්.

අනෙක්‌ ආගම් අනෙක්‌ ජාතීන් වගේම ආබාධිත අය සමග එකට ඉන්න අපි කුඩා කාලයේ ඉඳලා හැඩගැහෙන්න ඕනෑ. ඒ අයත් සමානයි කියලා ඉගෙන ගෙන එකට ඉන්න පුරුදු වෙන්න ඕනෑ බාල කාලයේදීමයි. එහෙම වුණාම තමයි ආකල්ප වෙනස්‌ කරන්න පුළුවන්. මේක රජයකට විතරක්‌, අමාත්‍යාංශයකට විතරක්‌ කරන්න බැහැ. දේශපාලනඥයන් වගේම ආගමික නායකයෝ මේ සියලු දෙනා වගේම අපේ රටවල සිටින තානාපතිවරුත් මේ ජාතීත් අතර සමගිය ඇති කරන්න පියවර ගන්න ඕනෑ.

අද අපි මුලතිව් වාගේ දිස්‌ත්‍රික්‌කවල දරුවන්ට විශ්වවිද්‍යාලවලට ඇතුල් වෙන්න විශේෂ අවස්‌ථාවක්‌ ලබා දුන්නා. ඒ විතරක්‌ නොවෙයි ත්‍රස්‌තවාදයෙන් පීඩාවට පත්වුණ උතුරේ නැගෙනහිර පළාත්වලට සේවය කරන්න මේ ප්‍රදේශවල අයට විතරක්‌ දෙමළ මධ්‍යයෙන් විභාග තියලා පරිපාලන ගණකාධිකාරි කෘෂිකර්ම නිලධාරීන් බඳවා ගන්න රජය තීන්දු කළා. පරිපාලන සේවා විභාගය ළඟදී පවත්වනවා. ගණකාධිකාරි විභාගයට ගැසට්‌ කරලා තියෙනවා. කෘෂිකර්ම නිලධාරි බඳවා ගන්නත් සූදානම්.

අද ඉදිරිපත් කරන වාර්තාව එන්නත් කලින් අපි මේ නිර්දේශ ක්‍රියාත්මක කරලා තියෙනවා. මතක තියාගන්න උගත් පාඩම් ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශවලවත් මේ යෝජනා කරලා තිබුණේ නෑ. ඒ නිසා මේ යෝජනා ක්‍රියාත්මක කරනකොට සමාජයේ වෙලා තියෙන වෙනස්‌කම් තේරුම් ගෙන කටයුතු කිරීම වැදගත්.

ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්‌කාර මහතා - සමාජ ඒකාබද්ධතාව ගැන ලොකු දැනීමක්‌ අප රටේ තිබුණේ නෑ. අපේ රටේ සංස්‌කෘතික විවිධත්වයක්‌, අපූරු සුන්දරත්වයක්‌ තිබෙනවා. ඒ සුන්දරත්වය එමගින් ඒ අතරේ විවිධ අහිතකර සමාජ පරතරයක්‌ තිබෙනවා. මේ පරතරයන් පියවීම සමාජ ඒකාබද්ධතාවයි. සමාජයෙන් බැහැර වූ මුළුගැන්වුණු සියලු දෙනා සමාජයේ පොදු ක්‍රියාකාරිත්වයට එකතු කරගැනීම සමාජ ඒකාබද්ධතාවයි. ජනවාර්ගික එකමුතුව මේ පිළිබඳව කාරණයත් සමාජ ඒකාබද්ධතාවයේ කාර්යයත් එක්‌කම ඒ මත පතිතවෙමින් තමයි මෙය ක්‍රියාත්මක වන්නේ.

යුද්ධයෙන් පසු ශ්‍රී ලාංකීය අප බලාපොරොත්තු වන්නේ එකම ජාතියක්‌ ගොඩනැඟීමයි. අපට අවශ්‍ය සියලු ජන අනන්‍යතාවන් සුරකින ද්විභාෂාවෙන් හෘදයාංගමව බැඳුණු එකම ලාංකීය ජාතියක්‌, විවිධත්වයේ එකමුතුව තමයි ශක්‌තිය මේ සුන්දර විවිධත්වය මත ඔවුනොවුන් අතර තිබෙන පරතරය යාකිරීමකුත් අප විසින් ඉටුකර ගත යුතුයි.

මේ සමාජයෙන් බැහැර වන අවාසිදායක ජනතාවට ඔවුන්ට අහිමි වූ සමාජ තත්ත්වය නැවත ලබාදීම තමයි මේ සමාජ ඒකාබද්ධතාවය. ඔවුන් සමාජයට එකතුකිරීම තමයි අපගේ කාර්යය. ඒ නිසා අපේ බලාපොරොත්තුව සමාජ ආකල්පයක්‌ ගොඩනැඟීමයි. මෙය අත්‍යවශ්‍ය කාරණාවක්‌.

ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් මල්කාන්ති වික්‍රමසිංහ, ශ්‍රී ලංකාවේ සිටින ජර්මනියේ වැඩබලන තානාපති මාරියා අයිඩෙක්‌ යන මහත්මීන්ද කතා කළ අතර මැති ඇමැතිවරු හා විදෙස්‌ තානාපතිවරු පිරිසක්‌ද එක්‌වූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.