දූෂිත මැතිවරණයකට ආණ්‌ඩුව සූදානම් වුවත්
එජාප ජනතාව සමඟ ශක්‌තිමත්ව මුහුණ දෙනවා

දයා ගමගේ

පියසේන දිසානායක

දූෂිත මැතිවරණයකට ආණ්‌ඩුව සූදානම් වුවත් එක්‌සත් ජාතික පක්‌ෂය ජනතාව සමඟ එක්‌ව ශක්‌තිමත්ව ඊට මුහුණ දෙන බව එම පක්‌ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ මහතා පැවැසීය.

බොරු පොරොන්දු ලබාදී ජනතාව මුළා කළ සන්ධාන ආණ්‌ඩුව ගෙදර යෑවීමේ පළමු වෙඩි මුරය පළාත් සභා මැතිවරණයෙන් තබන බව හෙතෙම කීය.

යෝජිත පළාත් සභා මැතිවරණය හා රටේ වත්මන් තත්ත්වය පිළිබඳව මාධ්‍යයට අදහස්‌ දක්‌වමින් ඊයේ (16දා) මේ බව සඳහන් කළ දයා ගමගේ මහතා තවදුරටත් මෙසේද කීය.

සබරගමුව, උතුරු මැද සහ නැගෙනහිර පළාත් සභාවල නිල කාලය තිබිය දී එම පළාත් සභා හදිසියේ විසුරුවා හැර ආණ්‌ඩුව මැතිවරණයක්‌ කැඳවා තිබෙනවා.

රටේ ජනතාව කිසි විටකත් මෙවැනි මැතිවරණයක්‌ ඉල්ලා සිටියේ නැහැ. නමුත් ආණ්‌ඩුව මහජන මුදල් කෝටි ගණනින් වැයකරමින් මැතිවරණය කැඳවා තිබෙන්නේ ජනතාවගේ යහපත සඳහා නොවෙයි.

එක්‌සත් ජාතික පක්‌ෂය ඕනෑම මැතිවරණයකට ශක්‌තිමත්ව මුහුණ දීමට හැකිවන පරිදි සංවිධාන ගත වීම ආරම්භ කළා.

නියමිත කාලයට පෙර පළාත් සභා විසුරුවා නොහරින ලෙස ජනතාව හා දේශපාලන පක්‌ෂ ඉල්ලා සිටියා. ඇතැම් අය අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු වුණා. නැගෙනහිර පළාත් සභාව විසුරුවා නොහරින ලෙස ඉල්ලමින් නඩු දෙකක්‌ පවරා තිබෙනවා. ඒ කිසිවක්‌ ගණන් නොගෙන එක්‌සත් ජාතික පක්‌ෂය ආරම්භ කළ සංවිධාන වැඩපිළිවෙළ නිසාම පළාත් සභා විසුරුවා හැරීමට ආණ්‌ඩුවට සිදුවුණා.

මේ මැතිවරණයේදී ජනතාව හමුවට යැමට හැකි එකම පක්‌ෂය එක්‌සත් ජාතික පක්‌ෂය පමණයි. අපි කිසිවිටක ජනතාවට බොරු පොරොන්දු ලබාදී නැහැ. ජනතාව මුළා කර නැහැ. පගා ගහලා නැහැ. ජනතා මුදල්, ජනතා දේපළ කොල්ල කාලා නැහැ. නමුත් ආණ්‌ඩුවේ දේශපාලනඥයන්ට ඒ චෝදනා සියල්ල එල්ල වී තිබෙනවා.

උතුරු මැද, සබරගමුව, නැගෙනහිර පළාත් සභාවල පසුගිය මැතිවරණයේදී සන්ධානය ලබාදුන් පොරොන්දු තවමත් ඉටු කිරීමට හැකි වී නැහැ. ජනතා සේවයට වඩා හොරකම, දූෂණය, වංචාව හා අපරාධ හිස ඔසවා තිබෙනවා.

නැගෙනහිර පළාතේ ජනතාව අර්බුද රැසකට මුහුණ පා සිටිනවා. වී ගොවියාට සිය වී ටික අලෙවි කර ගත හැකි වැඩපිළිවෙළක්‌ ඇත්තේ නැහැ. අධ්‍යාපනය, සෞඛ්‍යය, ගමනා ගමනය යන ක්‍ෂේත්‍ර කඩාවැටිලා. ඒ පළාතේ ජනතාව මුහුණ පා සිටින සැබෑ ප්‍රශ්නවලට ආණ්‌ඩුවට හෝ ආණ්‌ඩුව යටතේ පැවැති පළාත් සභා පාලනයෙන් විසඳුම් ලැබී නැහැ.

මේ තත්ත්වය මත මැතිවරණය ඉලක්‌ක කර ගනිමින් නැගෙනහිර පළාතේ සැණකෙළි පැවැත්වීමට ආණ්‌ඩුව සැලසුම් කරමින් සිටිනවා සේම ජනතාව මුළා කිරීම සඳහා නොයෙකුත් ව්‍යාපෘති දියත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ආණ්‌ඩුවේ සැණකෙළිවලට හෝ වරදාන වරප්‍රසාදවලට හෝ මැතිවරණයේදී නොරැවටෙන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යන විට ඒ සැණෙකින් මෙරට ඉන්ධන මිල වැඩි කළා. ආණ්‌ඩුව දැන් ලෝක වෙළෙඳපොළේ මිල අඩුවන විට ඒ සහනය ජනතාවට ලබාදීමට පියවර ගන්නේ නැහැ.

මේ ආණ්‌ඩුවේ දූෂණය හා නාස්‌තිය වෙනුවෙන් රටේ අහිංසක ජනතාවට වන්දි ගෙවීමට සිදුව තිබෙනවා. ජනතාව දැඩි පීඩාවන්ට පත්ව තිබෙන පසුබිම තුළ අද ආණ්‌ඩුවට ජනතාව හමුවට යැමට නොහැකි තත්ත්වයක්‌ උදාවී තිබෙනවා.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.