රට පුරා උද්ගතව ඇති අපරාධ රැල්ල
නවත්වන්න උපරිමව කටයුතු කරනවා
නව නීතිපති පාලිත ප්‍රනාන්දු

සමන්ත ඉලේපෙරුම

රට පුරා උද්ගතව ඇති අපරාධ රැල්ල නවතා දමන්න උපරිමයෙන් කටයුතු කරන බව නව නීතිපති පාලිත ප්‍රනාන්දු මහතා ඊයේ (16 දා) සිය ධුරයේ වැඩ භාරගනිමින් කියා සිටියේය.

අභිනව නීතිපති පිළිගැනීම උදෙසා නීතිපති දෙපාර්තමේන්තුව සංවිධානය කර තිබූ උත්සවයකදී මාධ්‍ය වෙත අදහස්‌ දක්‌වමින් එසේ කියා සිටි ප්‍රනාන්දු මහතා රට පුරා පවතින අපරාධ රැල්ල නවතා දැමීමට පොලිසියේ මෙන්ම මහජනතාවගේද සහාය නීතිපති දෙපාර්තමේන්තුව වෙත අවශ්‍ය වන බවද කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ විසිහත් (27) වැනි නීතිපතිවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුව වෙත පැමිණි පාලිත ප්‍රනාන්දු මහතා එහි ජ්‍යෙෂ්ඨ නීතිඥයන් විසින් ඉතා සුහද ලෙස පිළිගනු ලැබීය.

බුදු මැදුරේ පැවැති ආගමික වතාවත්වලින් අනතුරුව සිය කාර්යාලයට විත් වැඩ භාරගත් ප්‍රනාන්දු මහතා එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

වසර 32 ක්‌ මා නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කර තිබෙනවා. ඒ අත්දැකීම තුළින් හොඳ අවබෝධයක්‌ද ලබා තිබෙනවා. නීතිපති ධුරයේ ප්‍රතිරූපය ආරක්‍ෂා වන පරිදි කටයුතු කිරීම ඉතා වැදගත්. එය රජයට මෙන්ම මහජනතාව වෙත පෙන්විය යුතු දෙයක්‌ වෙනවා.

මාධ්‍ය වෙතද මෙහිදී ඉතා වැදගත් කාර්යභාරයක්‌ පැවරෙනවා. අපේ ඇති යම් අඩුපාඩුවක්‌, වැරැද්දක්‌ ඇති නම් පෙන්වා දෙන්න. එවිට අප ඒවා නිවැරැදි කරගැනීමට සූදානම්.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.