කුරුණෑගල ගුරුවරයකුත් සිසුවකුගේ කන පළලා

බණ්‌ඩාර කොස්‌වත්ත - වික්‍රමරත්න ගමගේ

ගුරුවරයකු විසින් කළ පහරදීමක්‌ හේතුවෙන් කන් බෙරයට බරපතළ හානි සිදුවූ තවත් පාසල් සිසුවකු ඊයේ (16 දා) කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කෙරිණි.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ මහව අධ්‍යාපන කලාපයට අයත් ප්‍රසිද්ධ පාසලක දහතුන් වන වසරේ ඉගෙනුම ලබන ගාමිණී ලක්‌මාල් නමැති සිසුවෙකි.

තමාගේ කොණ්‌ඩය උඩට ඉස්‌සී ඇත්තේ මන්දැයි කියමින් පාසලේ ගුරුවරයකු විසින් පසුගිය දහවන දින තමාගේ කනට පහරදුන් බවද පසුව කනේ ඇති වූ වේදනාව නිසා තමා එදිනම රාත්‍රියේ අඹන්පොල දිසා රෝහලට ඇතුළත් වූ බවත් එහිදී කළ පරීක්‍ෂණවලදී කන් බෙරයට හානි සිදුවී ඇති බැවින් අඹන්පොල රෝහලෙන් කුරුණෑගල ශික්‍ෂණ රෝහලට මාරුකර යෑවූ බවද එම සිසුවා දිවයිනට පැවැසීය.

මෙවැනිම සිද්ධියක්‌ මෙම මස 09 දින කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ පාසලකද සිදුවිය. මේ පාසලේ ගුරුවරියක විසින් කරන ලද පහර දීමෙන් කන් බෙරයට සිදුවූ හානිවීම නිසා චතුර ශ්‍රී ලාලිත බණ්‌ඩාර (16) සිසුවාද මෙම මස දහ වන දින කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කෙරිණි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.