13 හැවිරිදි ආබාධිත දැරියකට අතවර කිරීමේ නඩුව
දෙවසරක අත්හිටුවූ සිර දඬුවම ඉවත් කර
විත්තිකරුට දස වසරක සිරදඩුවමක්‌


සරත් ධර්මසේන

13 හැවිරිදි ආබාධිත දැරියක්‌ බලෙන් දූෂණය කිරීමේ නඩුවක විත්තිකරුවකුට අනුරාධපුර මහාධිකරණයෙන් නියම කර තිබූ වසර 02 ක අත්හිටුවූ සිර දඬුවමක්‌ ඉවත් කළ අපරාධ අභියාචනාධිකරණය ඒ වෙනුවට එවැනි වරදකට නීතියෙන් හිමි උපරිම දඬුවම ලබා දෙමින් විත්තිකරු බරපතළ වැඩ සහිත වසර 10 කට සිරගෙට නියම කළේය.

අනුරාධපුර මහාධිකරණයේදී මෙම නඩුව විභාග කළ විනිසුරුතුමිය විත්තිකරුට අත්හිටුවූ ලිහිල් දඬුවමක්‌ නියම කර ඇත්තේ චෝදනාවට වරද පිළිගන්නා බව මුල් දිනයේම සිය නීතිඥවරයා මගින් උසාවියට දන්වා සිටීමෙන් අනතුරුවයි. එහෙත් පසුව ඔහු එම දඬුවමත් නඩු තීන්දුවත් අහෝසි කර ස්‌ත්‍රී දූෂණ චෝදනාවෙන්ද නිදොස්‌කොට නිදහස්‌ කරන්නැයි ඉල්ලා අභියාචනයක්‌ (ඇපෑලක්‌) ඉදිරිපත් කර ඇත.

විත්තිකරුට අනුරාධපුර මහාධිකරණයෙන් නියමවී තිබුණාටත් වඩා දැඩි දඬුවමක්‌ නියම කරනු ලැබුවේ ඉකුත් සතියේ දිනක එම ඇපෑල විභාග කළ ඩබ්ලිව්. රංජිත් සිල්වා සහ නලින් පෙරේරා යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසිනි.

එදා විත්තිකරු උසාවියට පැමිණ නොසිටි අතර ඔහු වෙනුවෙන් නීතිඥයකු පෙනී සිටියේ ද නැත. එනිසා විත්තිකරුට වරෙන්තුවක්‌ නිකුත් කර වහාම අත්අඩංගුවට ගෙන ඔහුට නියම කරනු ලැබූ දස අවුරුදු සිර දඬුවම ක්‍රියාත්මක කිරීමට නඩු ගොනුව සමඟ අභියාචනාධිකරණ නඩු තීන්දුව අනුරාධපුර මහාධිකරණයට හැකි ඉක්‌මනින් යවන ලෙස විනිසුරු මඬුල්ල රෙජිස්‌ට්‍රාර්වරයාට නියෝග කළේය.

විත්තිකරු ටී. සුසිල් ප්‍රේමලාල් නමැත්තෙකි. 2003 සැප්.01 දා අනුරාධපුර කහටගොල්ලෑව ගල්කඩවලදී මෙම සිද්ධිය වී ඇත.

ශ්‍රී ලංකාවේ බලපැවැත්වෙන නීතිය අනුව ස්‌ත්‍රී දූෂණ චෝදනාවට වරදකරු වන පුද්ගලයකුට වසර 10 ක සිර දඬුවමක්‌ හා දඩයක්‌ද, ඊට අමතරව අතවරයට පත් තැනැත්තියට රුපියල් 50,000/} කට නොඅඩු වන්දියක්‌ ගෙවීමට නියම කිරීම අනිවාර්ය කර ඇත. එහෙත් නඩු විභාගයේදී ඉදිරිපත් වූ කරුණු සලකා බලා විනිසුරුවරයාගේ අභිමතය පරිදි විත්තිකරුවෙකුට දඬුවමක්‌ නියම කිරීමටද 2008 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී. ඒ. රත්නායක මහතා ප්‍රකාශයට පත් කළ නඩු තීන්දුවකින් බලය ලැබී ඇත. අනුරාධපුර මහාධිකරණ විනිසුරුවරිය මේ නඩුවේ විත්තිකරුට අත්හිටුවූ සිර දඬුවමක්‌ නියම කර ඇත්තේ ඒ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවට අනුවයි.

අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල තීරණය කළේ ඒ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව මේ නඩුවට අදාළ කරගත නොහැකි බවයි. විත්තිකරු අතින් දූෂණයවී ඇත්තේ ශාරීරික වශයෙන් දුබල කුඩා දැරියකි. කකුලේ ඇතිවූ ආබාධයක්‌ නිසා පාසල් යැම අතරමග නැවතී තිබිණි. සිද්ධිය වූ දින රාත්‍රි සිය සොහොයුරියකගේ නිවසේ නිදාගෙන සිටියදී කාමරයට ඇතුල්වූ විත්තිකරු ඇය බලහත්කාරයෙන් දූෂණය කර ඇත. ඉන් ඇතිවූ දැඩි හිත් වේදනාවට ඇය දිවි නසා ගැනීමටද තැත් කර ඇති බව සාක්‌ෂිවලින් හෙළිවී ඇත.

විත්තිකරු සිදුකර ඇත්තේ ඉතාමත් පහත් අමානුෂික ක්‍රියාවකි. එනිසා ඔහුට නීතියෙන් දිය හැකි ඉහළම දඬුවම් නියම කිරීමට තීරණය කළෙමුයි ද්විත්ව අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපති රංජිත් සිල්වා මහතා ලියූ නඩු තීන්දුවේ සඳහන් වේ.

රු. 10,000 ක දඩයක්‌ හා අතවරයට පත් දැරියට රු. 50,000 ක වන්දියක්‌ ගෙවීමටද අනුරාධපුර මහාධිකරණයෙන් විත්තිකරුට නියම කර තිබූ අතර අභියාචනාධිකරණය එය වෙනස්‌ කළේ නැත.

ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ සුදර්ශනද සිල්වා මහතා නීතිපති වෙනුවෙන් පැමිණිල්ලට පෙනී සිටියේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.