ලෙඩ හොඳ කරන මුවාවෙන් තරුණියගේ
ඇඟපත අතගෑ කපුවා අත්අඩංගුවට

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, චමින්ද සිල්වා සහ මධුර ප්‍රියංජිත් - හංවැල්ල

හංවැල්ල, තුම්මෝදර, ගැටේමාවර ප්‍රදේශයේ තරුණියකට ලෙඩ රෝග සුව කරන මුවාවෙන් අතවර කළ බව කියන කපුවකු අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය පවසයි.

අතවරයට පත් තරුණිය 20 හැවිරිදි වියේ පසුවන්නියක බවද පොලිසිය කියයි.

තරුණියගේ ශරීරයේ සුදු කබර තිබී ඇත. මේ නිසා මානසිකව වැටී සිටි තරුණියට ලෙඩ රෝග සුවකරන කපුවා ගැන ඇයට දැන ගන්නට ලැබී තිබේ. ඒ අනුව සුදු කබර රෝගය සුවකර ගැනීමට ඇය සිය මවත් සමග කපුවාගේ නිවසට ගොස්‌ ඇත.

තමන්ට මෙම සුදු කබර රෝගය සුවකළ හැකි බව පවසා කපුවා නිවසේ කාමරයකට තරුණිය කැඳවා ඇත. එහිදී ඇගේ මව කාමරයෙන් පිටතට ගිය අවස්‌ථාවක තරුණියගේ ශරීරයේ ඇඳුම් ගලවා තෙල් ගල්වන මුවාවෙන් අතවර කර ඇතැයි හෙළිවූ බව පොලිසිය කියයි.

පසුව මේ ගැන තරුණිය සිය මවට පැවසීමෙන් පසු ඈ පොලිසියට පැමිණිලි කර තිබේ.

අත්අඩංගුවට පත් සැකකාර කපුවා 39 හැවිරිදි වියේ පසුවන වතුපිටිවල පදිංචි අයෙක්‌ බවද පොලිසිය කියයි.

අතවරයට පත් තරුණිය වෛද්‍ය පරීක්‌ෂණයක්‌ සඳහා අවිස්‌සාවේල්ල මූලික රෝහලට යොමුකළ බවද පොලිසිය පවසයි.

මේ පිළිබඳව නුගේගොඩ කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි සාලිය ද සිල්වා මහතාගේ අධීක්‌ෂණය යටතේ හංවැල්ල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක උපුල් ලියනගම මහතාගේ උපදෙස්‌ පරිදි නිලධාරීහු කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‌ෂණ පවත්වති.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.