දැරිය දූෂණය කිරීමේ සිද්ධියේ සැකකාර
අකුරැස්‌ස ප්‍රා.සභාපති යළිත් රිමාන්ඩ්

මාතර - චන්ද්‍රදාස කොඩිතුවක්‌කු

වයස අවුරුදු 14 ක්‌ වූ බාල වයස්‌කාර දැරියක්‌ නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කොට තාවකාලික ලැගුම් හලකට රැගෙන ගොස්‌ දූෂණය කළ බවට කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්‌ෂිත බන්ධනාගාර ගතව සිටි සැකකරුවන් දෙදෙනකු වූ අකුරැස්‌ස ප්‍රාදේශීය සභාවේ සභාපති සාරුව ලියනගේ සුනිල් සහ ප්‍රියංග ඉඳුනිල් වික්‍රමසිංහ යන දෙදෙනා නැවත මෙම 30 දින දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු උදේශ් රණතුංග මහතා නියෝග කරන ලදී.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා විසින් සැකකරුවන් වෙනුවෙන් ඇප ඉල්ලා සිටි මුත් ඇප ලබාදීම ප්‍රතික්‌ෂේප වූ අතර මාසික ප්‍රාදේශීය සභා රැස්‌වීම්වලට සහභාගි වීමට ඉල්ලා තිබූ අවසරයද ප්‍රතික්‌ෂේප කෙරිණි.

තවද අතවරයට පත් වූ බවට කියන දැරිය සතු භාණ්‌ඩ ඩී. එන්. ඒ. පරීක්‌ෂණයකට යවන ලෙසට ද පොලිසියට නියෝග කෙරිණි. තවද තවත් බාලවයස්‌කාර දැරියක්‌ අපයෝජනයට සහ අතවරයට ලක්‌ කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන්ද ඉහත සැකකරුවන් දෙදෙනා චෝදනා ලැබ සිටි අතර එම දැරියට අතවර කළ බවට චෝදනා ලැබ අත්අඩංගුවට ගෙන සිටි ඒ. ජී. සඳරුවන් නම් සැකකරුවකු ද 2012.07.30 දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි. මාතර පොලිසියේ පො. සැ. 55850 සුමතිපාල මහතා පැමිණිල්ල මෙහෙයවීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.