සිත්තැවුලට පත් තරුණිය නියඟලා කා රෝහලේ
ප්‍රතිකාර ලබා ගැනීමට ගිය තරුණියට
අතවර කළ යකදුරා අත්අඩංගුවට


හංවැල්ල - මධුර ප්‍රියන්ජිත්

සුදු කබර සෑදුණු 20 හැවිරිදි තරුණියකට ප්‍රතිකාර කිරීමේ මුවාවෙන් රවටාගෙන ගොස්‌ දූෂණය කළ යකදුරෙකු අත්අඩංගුවට ගැනීමට හංවැල්ල පොලිසිය සමත් වේ.

හංවැල්ල පොලිස්‌ බල ප්‍රදේශයට අයත් කොස්‌වත්ත ප්‍රදේශයේ 20 හැවිරිදි තරුණියක සිය යහලුවෙකු මාර්ගයෙන් දැනගත් තොරතුරු අනුව මෙම යකදුරාගෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා යොමුවී ඇත.

ඒ අනුව අසල්වාසී නිවසකට බෙහෙත් ගැල්වීමට යෑයි පවසා 2012/07/12 දින රාත්‍රියේ ගෙන්වාගෙන ඇති තරුණිය එහිදී දූෂණය කර ඇත.

අතවරයට පත්වීමෙන් අනතුරුව ඇතිවූ සිත් වේදනාව මත තම පෙම්වතාට සියලු පුවත් පවසා නියඟලා අල කා ඇති තරුණිය මේ වන විට අවිස්‌සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

ප්‍රදේශවාසීන්ගෙන් ද සහාය ඇතිව වහා සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු නිට්‌ටඹුව ප්‍රදේශයේ පදිංචි අවිවාහක උපාධිධාරියෙකු වන අතර මෙවැනි හොර වැඩවලට පුරුදු වී සිටි අයෙකු බව සැලකේ.

හංවැල්ල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍ර. පො. ප., එල්. කේ. එස්‌. යූ. ලියනගම මහතාගේ උපෙදස්‌ මත අපරාධ අංශයේ ස්‌ථානාධිපති දිල්රුක්‌ විඡේසුන්දර පො. ප. ගුණදාස යන පරීක්‍ෂණ පවත්වා සැකකරු අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර වැ. බ. මහෙස්‌ත්‍රාත් කුමාරගේ මහතා විසින් සැකකරු 23 දින තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන ලදී.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.