කතරගම වැඩහිටි කන්ද දේවාලයේ
පිත්තල භාණ්‌ඩ සොරාගත් හයදෙනා දැලේ


දෙබරවැව - ඒ. ඒ. පේමසිරි

කතරගම වැඩසිටි කන්ද දේවාලයෙන් සොරකම් කරන ලද පිත්තල භාණ්‌ඩ තොගයක්‌ සමඟ නම ගිය ප්‍රධාන පෙළේ අපරාධකරුවකු ඇතුළු හය දෙනකු තංගල්ල කොට්‌ඨාසයේ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගවට ගත් සැකකරුවන් අතර එකම පවුලේ තිදෙනෙක්‌ද විය. ඔවුන් තිස්‌සමහරාම මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 18 වන දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

තිස්‌සමහරාම වැඩබලන මහෙස්‌ත්‍රාත් ගාමිණි ආනන්ද මහතාගේ නියෝගයකට අනුව සැකකරුවන් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

ඔවුන් වැඩහිටි කන්ද දේවාලයට අයත් ගබඩාවක්‌ තුළ තිබූ මෙම පිත්තල භාණ්‌ඩ තොගය සොරකම් කර තිබුණි.

අනුරාධපුර අටමස්‌ථානාධිපති නාහිමියන්ගේ භාරකාරත්වය යටතේ වැඩහිටි කන්දේ විහාරස්‌ථානයෙහි පරිපාලන කටයුතු බාරව වැඩ සිටින කඹුරුපිටියේ විමලසාර හිමියන් විහාරස්‌ථානයෙහි නොසිsටි මොහොතක මෙම සොරකම කර ඇති බව අනාවරණය වේ.

මේ පිළිබඳව විමලසාර හිමියන් විසින් කතරගම පොලිසියට ජුනි මස 20 වන දින පැමිණිලි කර ඇත.

ඒ අනුව තංගල්ලල කොට්‌ඨාසයේ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ විශේෂ පරික්‍ෂණයට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔවුන්ගේ නිවෙස්‌වල තිබී පිත්තල පහන් කොටස්‌ බහාලු පොහොර උර 33 ක්‌ සොයා ගෙන ඇත.

එම බෑග්වලට අමතරව වැඩහිටි කන්ද කාලි දේවාලය අසල කැලෑවේ තිබී කුඩා ප්‍රමාණයේ පහන් 42 ක්‌ විශාල ප්‍රමාණයේ පහන්වල යට තට්‌ටු 67 ක්‌ පහන් බීරළු කොටස්‌ 86 ක්‌ ප්‍රධාන යට තට්‌ටු 61 ක්‌ පහන් තිර තට්‌ටු 61 කුකුලන්ගේ අනුරුව ඇතුළු කොටස්‌ 29 ක්‌ සමග පහන්වල සැරසිලි කොටස්‌ 29 ක්‌ සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති පිත්තල භාණ්‌ඩවල බර කිලෝ 300 ක්‌ පමණ බර වන අතර එහි වටිනාකම මෙතෙක්‌ ගණන් බලා නැත.

සොරකම් කරන ලද භාණ්‌ඩ රැගෙන ගිය 250 - 9793 දරන කැබ් රථයද පොලිස්‌ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්‌ථාවෙහි වැඩිහිටි කන්ද විහාරස්‌ථානයෙහි අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ සුනිල් ගුණසේකර මහතා පෙනී සිටියහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.