බිරිඳ විදෙස්‌ගතව සිටිද්දී දරුවන් හා මව රැක බලාගත්
නිමලරත්නගේ ජීවිතය උදුරා ගන්නට
සොබාදහම ඇයි මෙතරම් කුරිරු වුණේ

පොල්පිතිගම - වීරරත්න

බිරිඳ විදේශගතව සිsටිද්දී දරුවන් සතර දෙනකු සහ ආබාධිත මව ජීවත් කිරීමට වෙහෙසුන 42 හැවිරිදි පියකු අකුණු සර වැදීමෙන් ශෝකජනක ලෙස මියගොස්‌ ඇත.

පොල්පිතිගම මොරගොඩ පදිංචි ජී. බී. නිමලරත්න මහතා මෙලෙස මියගොස්‌ තිබුණේ පසුගිය 14 වැනි දින සවස 5.00 ට පමණ ප්‍රදේශය පුරා එකවරම ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව අතරතුරදීය.

එදින සවස 2.00 ට පමණ නිමලරත්න බාල පුතුට බෙහෙත් රැගෙන නිවසට පැමිණෙනවාත් සමගම හිතවතුන් දෙදෙනකු පැමිණ කළුගල් ලෝඩ් එකක්‌ පැටවීමට එන්නැයි කතා කිරීම නිසා ඔවුන් සමග ගිය බව නිමලරත්නගේ වැඩිමහල් දියණිය වන ජී. බී. කුමුදු කාවින්දි පැවසුවාය.

"සවස 4.30 පමණ වන විට තාත්තාට අකුණක්‌ වැදී ඇති බව ආරංචි වුණා. ඒ වන විටත් තාත්තා පොල්පිතිගම ඉස්‌පිරිතාලෙට අරන් ගිහින්. ටිකකින් ආරංචි වුණා තාත්තා අපිව දාලා ගිහින් කියලා. අම්මත් ලංකාවේ නෑ. කිරි අම්මත් ආබාධිත වෙලා ඉන්නේ. අනේ මමයි නංගිලා දෙන්නයි මල්ලියි තනි වුණා. අනේ ඔයගොල්ලන්ට හරි පුළුවන් නම් අපේ අම්මාවත් අපට ගෙන්වලා දෙන්න. අපි ඔක්‌කොම තවම ඉස්‌කෝලේ යනවා යෑයි කුමුදු කාවින්දි හැඬූ කඳුළින් පැවසුවාය.

නිමලරත්නට අකුණු සර වැදී තිබුණේ පොතුවෑපිටිය විදුහල ඉදිරිපිට ඇති ගල් වළේදීය. අකුණු සර වදින අවස්‌ථාවේදී නිමලරත්න සමග තවත් දෙදෙනකු ටේ්‍රලරයකට ගල් පටවමින් සිට වැස්‌ස නිසා තිදෙනාම අසල කුඩා පැලකට ගොඩ වී ඇත. නිමලරත්නගේ හිතවතුන් පවසන ආකාරයට පැල තුළ නිමලරත්න සිට ඇත්තේ ආසන්නව තිබූ කනාටු ගසකට පිටුපා ගෙනය. එකවරම තමන් තිදෙනාම උඩ විසිවී ගොස්‌ වැටුණේ විශාල අකුණු ශබ්දයත් සමගම බවත් නැගිට බලද්දී නිමලරත්න නිසොල්මන්ව වැටී සිටි බවත් කඩිනමින් ඔහුව රෝහල වෙත ගෙන යන්නට කටයුතු කළද ඒ වන විටත් ඔහු මියගොස්‌ සිට ඇති බව රෝහලේ දී දැනගත් බවත් නිමලරත්නගේ හිතවතුන් පැවසූහ.

නිමලරත්නගේ බිරිඳ පී. බී. බේබිනෝනා මීට වසරකට පමණ පෙර විදේශ රැකියාවක්‌ සඳහා මැද පෙරදිග යැම නිසා නිමලරත්නට දියණියන් තිදෙනකුගේ සහ කුඩා පුතුගේ වගකීම් සෘජුව පැවරී තිබිණි.

වැඩිමහල් දියණිය ජී. කුමුදු කාවින්දි කෝන්වැව මහ විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර ජී. බී. නිශේධා මධුෂානි සහ ජී. බී. අමාලි ඉෂාරාත්, ජී. බී. ගිහාන් ඉමේෂ පොඩි පුතුත් පොතුවෑපිටිය ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටී.

මෙම දරුවන්ගේ මිත්තණිය වන ජී. බී. පොඩිනෝනා එම නිවසේම නිමලරත්නගේ රැකවරණය ලබමින් සිට ඇති අතර අද වන විට මේ සියලු දෙනාම නිමලරත්නගේ වියෝවෙන් අනාථ වී ඇතැයිද ප්‍රදේශයේ වැඩිහිටියකු අප සමග පැවසීය.

අප එහි යන විටද නිමලරත්නගේ දේහය ගෙනැවිත් නොතිබිණි. පශ්චාත් මරණ පරීක්‌ෂණ සඳහා සිරුර පොල්පිතිගම දිසා රෝහලේ ඇති බව දැනගන්නට ලැබිණි. මියගිය නිමලරත්නගේ බිරිඳ ආපසු ගෙන්වා ගැනීමට පවුලේ ඥතීන් උනන්දු වෙමින් සිsටින බව පෙනිණි.

නිමලරත්නගේ දේහය පිළිබඳව අවසන් කටයුතු 18 වැනි දින මොරගොඩ පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.