අසාද් සාලි සන්ධානයෙන් ඉවත් වෙයි

පියසේන දිසානායක සහ රනිල් ධර්මසේන



කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී අසාද් සාලි මහතා එම ධුරයෙන් සහ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ සියලු කටයුතුවලින් (ඊයේ) 17 වැනි දින ඉල්ලා අස්‌වී නැගෙනහිර පළාත් සභා මැතිවරණයට තරග කිරීම සඳහා මැතිවරණ කොමසාරිස්‌වරයා හමුවී සාකච්ඡා කළේය.

නාගරික මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්‌වීමේ ලිපිය කොළඹ නගර සභාවේ කොමසාරිස්‌වරයාට ඊයේ (17 දා) බාර දුන් බවත් එහි පිටපතක්‌ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත යොමු කළ බවත් අසාද් සාලි මහතා "දිවයින" ට පැවසීය.

නැගෙනහිර පළාත් සභා මැතිවරණයට දෙමළ හා මුස්‌ලිම් නියෝජිතයන්ගෙන් සමන්විත දෙමළ භාෂාව කතා කරන්නන්ගේ ස්‌වාධීන සංසදයක්‌ ලෙස ඉදිරිපත් වීමට සැලැසුම් කර තිබෙන බව හෙතෙම කීය.

කෙසේ වෙතත් මැතිවරණයට තරග කිරීම සම්බන්ධව එක්‌සත් ජාතික පක්‍ෂය සහ දෙමළ ජාතික සන්ධානය සමඟත් සාකච්ඡා ආරම්භ කර තිබෙන බව පවසන අසාද් සාලි මහතා ඒ පිළිබඳව අවසන් තීරණයක්‌ අද (18 දා) ගන්නා බව පැවසීය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කෙරෙහි පූර්ණ විශ්වාසයක්‌ තබා තමන් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන ආණ්‌ඩුව සමඟ එක්‌ වුවද අද ආණ්‌ඩුව ඒකාධිපති ජාතිවාදී ගමනක්‌ යන පසුබිමක්‌ තුළ තවදුරටත් එහි රැඳී සිටීමට හෝ මැතිවරණයකට ඉදිරිපත් වීමට හදවතට අවංකව කළ නොහැකි නිසා සන්ධානයේ සියලු කටයුතුවලින් ඉල්ලා අස්‌ වූ බවත් ඒ මහතා සඳහන් කළේය.

සන්ධාන ආණ්‌ඩුව සාමකාමී ගමනක්‌ ආරම්භ කළ ද දැන් අයි. ආර්. සී. ගමනකට අවතීර්ණ වී මුස්‌ලිම් ජනතාව නොසලකා හරිමින් ඒ ජනතාවගේ ආගමික මධ්‍යස්‌ථාන පවා කඩා දැමීමේ ව්‍යාපාරයක නිරතව සිටින බවට හෙතෙම චෝදනා කළේය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.