කෙරවලපිටියට 'හයි සල්ෆර්' දීමෙන්
තෙල් සංස්‌ථාවට කෝටි ගණනක පාඩුවක්‌


ශිරාන් රණසිංහ

කෙරවළපිටිය ද්විත්ව චක්‍රීය විදුලි බලාගාරයට අවශ්‍ය ලෝ සල්ෆර් ඉන්ධන ගෙන ඒම පමාවී තිබෙන නිසා කොළොන්නාව තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමෙහි (සී.පී.එස්‌.ටී.එල්) ඇති හයි සල්ෆර් ඉන්ධන ටොන් හාරදහසක්‌ බලාගාරය වෙත යෑවීම ඊයේ (25 වැනිදා) ආරම්භ කර ඇත. මේ නිසා තෙල් සංස්‌ථාවට විශාල පාඩුවක්‌ සිදුවන බව එහි මුදල් අංශය පවසයි.

ඉන්ධන නළ පද්ධති නොමැති නිසා ලීටර් තිස්‌තුන්දහසේ බවුසර් එකසිය හැත්තෑපහක්‌ මගින් කොළොන්නාවේ සිට කෙරවළපිටියට ඉන්ධන ගෙනයයි. මේ නිසා රුපියල් කෝටි ගණනක අමතර වියදමක්‌ දැරීමටද සිදුව ඇතැයි තෙල් සංස්‌ථාවේ මුදල් අංශය පවසයි.

හයි සල්ෆර් ඉන්ධන තවදුරටත් පිරිපහදු කළ හැකි ඉන්ධන වර්ගයක්‌ වන අතර ලීටරයක්‌ රුපියල් 75 ක මිලකට කෙරවළපිටිය බලාගාරය වෙත ලබාදීමට දෙපාර්ශ්වය එකඟ වී සිටිති.

මෙම ඉන්ධන තොගය අඩු මිලට ලබාදීමෙන් තෙල් සංස්‌ථාවට පාඩුවක්‌ සිදුවූවද, අදාළ ප්‍රවාහන ගාස්‌තුද කෙරවළපිටිය බලාගාරය හිමි වෙස්‌ට්‌ කෝස්‌ට්‌ සමාගමෙන් අය කර ගන්නා බව මේ පිළිබඳ කළ විමසීමේදී ඛනිජ තෙල් කර්මාන්ත ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත මහතා "දිවයින"ට පැවැසීය.

මෙම හයි සල්ෆර් ඉන්ධන තොගය තවදුරටත් පිරිපහදු කළේ නම් අමතරව විශාල ආදායමක්‌ ඉපැයිය හැකි බව තෙල් සංස්‌ථාවේ පිරිපහදු නිලධාරීහු පවසති.

පසුගියදා එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ගෙන්වූ ලෝ සල්ෆර් ඉන්ධන තොගය වෙළෙඳ ගනුදෙනු ප්‍රශ්නයක්‌ නිසා ගොඩබෑම නතර විය. මේ හේතුවෙන් කෙරවළපිටිය විදුලි බලාගාරයට මෙලෙස හයි සල්ෆර් ඉන්ධන නිකුත් කර ඇත.

පවතින විදුලි අර්බුදය හමුවේ කෙරවළපිටිය බලාගාරයෙන් නිපදවන මෙගාවොට්‌ 270 අඛණ්‌ඩව ලබාදීම සඳහා රජය ගත් තීරණයකට අනුව මෙම හයි සල්ෆර් ඉන්ධන තොගය බලාගාරය වෙත යවා තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.