සංස්‌කරණය : නාරද නිශ්ශංක

"අනුරාලෝකය" අනුර ශ්‍රීනාත්ගේ නිර්මාණ දැක්‌ම



පුරා තිස්‌ තුන් වසරක පමණ කාල පරිච්ඡේදයක්‌ චිත්‍ර කලාවේ ප්‍රතිභාව පළ කළ දක්‍ෂ චිත්‍ර ශිල්පියකු වූ අනුර ශ්‍රීනාත්ගේ නිර්මාණ දැක්‌ම අගෝස්‌තු 2, 3, 4 හා 5 යන දිනවල කොළඹ ජාතික කලාභවනේදී පැවැත්වේ.

මේ අනුර ශ්‍රීනාත් තම චිත්‍ර දැක්‌ම ගැන අපට එවා තිබූ සටහනක්‌.

       

1980 වසරේ අග භාගයේ උපාලි පුවත්පත් සමාගම ආරම්භයත් සමඟම එහි මුල්ම වෘත්තිකයන් අතරට චිත්‍ර ශිල්පියෙක්‌ වශයෙන් මාවද තෝරා ගනු ලැබුවා. ඒ චිත්‍රමිත්‍ර නම් චිත්‍ර කතා පත්‍රයේ චිත්‍රකතා ශිල්පියෙක්‌ විදිහටයි. ඉන්පසු වෙනත් චිත්‍රකතා ප්‍රකාශන විශාල ප්‍රමාණයක්‌ හරහා අතිවිශාල චිත්‍රකතා නිර්මාණ ගොන්නකින් පාඨකයන් අතර හොඳ නමක්‌ දිනා ගැනීමට මා සමත් වුණා.

වෙළෙඳ චිත්‍ර ප්‍රචාරණ කලාවට මා යොමුවුණේ ඉන් අනතුරුවයි. මුල් පෙළේ ප්‍රචාරණ ආයතන කිහිපයක නිර්මාණකරුවෙක්‌ වශයෙන් සේවය කර අවසානයේ 1990 වසරේ නිදහස්‌ චිත්‍ර ශිල්පියෙක්‌ වශයෙන් වැඩ කිරීමට ඇති කැමැත්ත නිසා සියලු බැඳීම්වලින් මිදී මාගේ නිර්මාණ මට අවශ්‍ය අන්දමට හැසිරවිමේ නිදහස උදා කර ගනිමින් නිදහස්‌ චිත්‍ර ශිල්පියෙක්‌ බවට මා පත්වුණා. ඒ අතරද ඕනෑම ආයතනයකින් ලැබෙන නිර්මාණ හැකි උපරිම මට්‌ටමින් කරදීමටත් මට හැකි වුණා. එසේ මා විසින් කරන ලද නිර්මාණ ගොන්න අතිවිශාලයි.

විශේෂයෙන් පේන්ටින්ස්‌ නිර්මාණයට මා තුළ වූ තදබල ආශාව නිසා ඉතා විශාල ප්‍රමාණයේ (මගේ උස මෙන් දෙගුණයකට වඩා උසකින් යුත්) නිර්මාණ කිරීමට මා නිරන්තරයෙන් පෙළඹුණා. ඒ සමහර නිර්මාණවල මිනිස්‌ රූප නවසීය ගණනකටත් වඩා අධිකයි. විශාල කාලයක්‌ හා ශ්‍රමයක්‌ වැඩ කර ඉතා උනන්දුවෙන් කරන ලද එම නිර්මාණ ගැන බොහෝ දෙනා කතා කළේ විශ්මයෙන්. එතරම් ඉවසීමක්‌ මා තුළ තිබීම ගැනයි හුඟ දෙනෙක්‌ විමතියට පත්වුණේ. එවැනි දේවල් නිසා මා එක්‌තරා සුවිශේෂ චිත්‍ර ශිල්පියෙක්‌ බවට පත්වී ඇති බවයි මගේ හැඟීම. නිකරුනේ ගත කරන කාලය නිර්මාණයන් වෙනුවෙන් යෙදවීම නිසා මා සමීපයේ විශාල චිත්‍ර ප්‍රමාණයක එකතුවක්‌ තියෙනවා. ඒ බොහෝ දේ වෙනත් නිර්මාණවලට වඩා ඉතාම වෙනස්‌. ඉතින් ඒ සියල්ල එකතු කර මා දුටු එම සුන්දර ලෝකය "අනුරාලෝකය" නමින් මගේ රටේ ජනතාවට පෙන්වීමට මා දැන් සූදානම්.

නරඹන්නන්ට වැදගත් බොහෝ දේ එහි තිබේ. චිත්‍ර අඳින අයටත් අඳින්න ආසාවෙන් ඉන්න ලොකු පොඩි සැමටත් එය හොඳ අත්දැකීමක්‌ වෙයි. විශේෂයෙන් මගේ රට පුරා පාසල් සිසු සිසුවියන්ට එය හොඳ ආදර්ශයක්‌ වෙයි. පාසල් චිත්‍ර ගුරුවරුන්ට මා ඉතා ගෞරවයෙන් ආරාධනා කරනවා තම සිසු පරපුරට "අනුරාලෝකය" පෙන්වන්න අමතක කරන්න එපා කියලා.

චිත්‍ර කතා රසිකයන්ටත් ප්‍රදර්ශන ශාලාව පුරා චිත්‍රකතා රසය විඳ ගැනීමට හොඳ චිත්‍රකතා සමූහයක්‌ ඉතා විශාල ප්‍රමාණයෙන් ඉදිරිපත් කරන්න මා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පාඨකයන් ඉතා ආශාවෙන් කියවපු "චූටි පුතාගෙ ලොකු කතා", "එන්න එපා කෝච්චිය", "ඉස්‌කෝලේ යන්න පුතේ", "සෙල්පෝං සහ පිස්‌සු නැත්තං ෂෝක්‌ පුතා" යන රසවත් චිත්‍රකතා, මනරම් පොත් වශයෙන් සහන මිලකට මිලදී ගැනීමටත් එදාට හැකිවෙනවා.

ඉතිං එන්න මගේ නිර්මාණ රස විඳින්න. ඔබේ රටේ ඔබේ යුගයේ චිත්‍ර ශිල්පියෙක්‌ හැටියට එය මා හර කරන හොඳම ගෞරවය එය වෙයි.

අනුර ශ්‍රීනාත් තම සටහනේ එලෙස සඳහන් කර තිබේ. ජාතික චිත්‍රකතා පදනම මෙම දැක්‌ම අධීක්‍ෂණය සිදුකරයි.

ලසිත දුමින්ද

 

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.