හදිසි අනතුරු වළක්‌වා ගැනීමට රජයේ මෙන්ම
සිවිල් ජනතාවගේත් සහයෝගය ඕනෑ

ඇමැති මෛත්‍රිපාල සිරිසේන

විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය විජය ගොඩකුඹුර මහතා සිය කෘතියේ මුල් පිටපත සෞඛ්‍ය ඇමැතිවරයා වෙත පිළිගැන්වූ අයුරු සහ උත්සවයට සහභාගි වූ හදිසි අනතුරකට ලක්‌ව ආබාධිත තත්ත්වයට පත්ව සිටින වෛද්‍ය සමිතා සමන්මලී මෙනවියගෙන් සෞඛ්‍ය ඇමැතිවරයා සුවදුක්‌ විමසන අයුරු.

ඡායාරූප - සිරිපාල හල්වල


හදිසි අනතුරු වළක්‌වා ගැනීම සඳහා රජයේ මෙන්ම සිවිල් ජනතාවගේ ද සහයෝගය අවශ්‍ය බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

ඇමැතිවරයා එසේ පැවසුවේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ විජය ගොඩකුඹුර මහතා විසින් රචිත ළමා අනතුරු වළක්‌වාගනිමු නමැති කෘතිය එළිදැක්‌වීම වෙනුවෙන් ඉකුත් 26 වැනිදා ජාතික රුධිර බැංකු ශ්‍රවණාගාරයේදී පැවැති උත්සවයේදී ය.

එහිදී ඇමැතිවරයා මෙසේද කීවේය.

අද සමහර මාර්ගවල ගමන් කරන විට කොයි වේලේ හදිසි අනතුරකට මුහුණ දෙන්නට සිදුවේ දැයි කියන්න බැරි තරමට මාර්ග අනතුරු ඉහළ ගිහින් තිබෙනවා.

පසුගිය දිනෙක මා මොරටුවේ පැවැති ඩෙංගු මර්දන වැඩසටහනකදී කිලෝමීටර් 04 ක්‌ විතර පාසල් දරුවන් 5000 ක්‌ සමඟ පා ගමනක්‌ ගියා. අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මැතිතුමත් මා සමඟ ගියා. ඒ යනකොට පාර දෙපසද සමහර කාණුවල සිමෙන්ති ආවරණ ගැලවිලා. ඒ වගේම තමයි මාර්ග නීති නොතකා ධාවනය වන වාහන. මමත් බයේ හිටියේ මාත් එක්‌ක පා ගමනට සහභාගි වෙච්ච දරුවකුට මොකක්‌ හරි අනතුරක්‌ වුණොත් ඒක පසුවදා ජනමාධ්‍යවල පළවෙන්නේ මෛත්‍රිපාල සිරිසේනයි, බන්දුල ගුණවර්ධනයි ගියපු පා ගමනේ දරුවෙක්‌ හදිසි අනතුරකට ලක්‌වෙයි කියලයි.

අනෙක්‌ කරුණ තමයි අනතුරු වළක්‌වා ගැනීම. පාසලක නම් ගුරුවරුනුත්, ගෙදරක මවුපියනුත්. වෙනත් ආයතනයක නම් ඒ ආයතනයේ නිලධාරීනුත් මේ අනතුරු වළක්‌වා ගැනීමට පියවර ගත යුතුයි.

අනතුරුවලින් ලෝකයේ මිලියන 5.5 ක්‌ දෙනා වර්ෂයකට මිය යනවා. ලංකාවේ වර්ෂයකට 12000 ක්‌ අනතුරුවලට ලක්‌ව මරණයට පත්වෙනවා. ශ්‍රී ලංකාවේ අනතුරු නිසා සිදුවන මරණවලින් සියයට 04 ක්‌ සියදිවි නසාගැනීම්, සියයට 06 ක්‌ මිනීමැරුම්, විෂවීම් 04 ක්‌, වැටීම් සියයට 04 ක්‌, පිළිස්‌සීම්වලින් සියයට 09, දිගේ ගිලීම් සියයට 17 ක්‌, රිය අනතුරුවලින් සියයට 22 ක්‌, සහ අනෙකුත් අනතුරුවලින් සියයට 32 ක්‌ ද මරණයට පත්වෙනවා. යුද්ධය පැවැති සමයේ යුද අනතුරුවලින් සියයට 02 ක්‌ මරණයට පත් වුවද දැන් එවැනි මරණ වාර්තා වන්නේ නැත.

මැලේසියාව පසුගිය සතියේ අංශ කිහිපයක්‌ සඳහා ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා. සෞඛ්‍ය ඊට අදාළ කර ගත්තේ නැහැ. එයට හේතුව හොඳ අධ්‍යාපන ප්‍රතිපත්තියක්‌ තුළින් ජනතාව සෞඛ්‍ය පිළිබඳව දැනුවත්වන බව ද විද්වතුන් පෙන්වා දී තිබීමයි. නමුත් අපේ රටේ ජනතාව තවමත් අධ්‍යාපනය තුළින් නිවැරැදිව දැනුවත් වී නැහැ.

මෙම අවස්‌ථාවට මහාචාර්ය කාලෝ ෙµdන්සේකා මහතා ඇතුළු විද්වතුන් විශාල පිරිසක්‌ සහභාගි වූහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.