මැදපෙරදිග දී පපුවට යෑවූ
ඉඳිකටු දෙකක්‌ එළියට ගැනේ


බළන්ගොඩ - එන්. එච්. පියසේන

බළන්ගොඩ කල්තොට මැදබැද්ද ප්‍රදේශයේ විසූ කාන්තාවක්‌ මීට මාස හයකට පමණ පෙර රැකියා ඒජන්සියක මාර්ගයෙන් ගෘහ සේවිකා රැකියාවකට ගියාය. එහිදී තම ශරීරයේ ඉඳිකටු ගැසීමක්‌ එරටේදී සිදුවීම නිසා අසනීප වී ජුලි මස 11 දා මෙරටට පැමිණ ඇත. ඉන්පසු අසනීප තත්ත්වයක්‌ ඇති බව පවසා බළන්ගොඩ මූලික රෝහලට ඉකුත් 27 දා ඇතුළත් වීමෙන් පසු කරන ලද වෛද්‍ය පරීක්ෂණවලදී ශරීරය තුළ කටු ඇති බව හඳුනාගැනීමෙන් පසු ඊයේ (03 දා) ශල්‍යකර්මයක්‌ මගින් ඉඳිකටු දෙකක්‌ ඉවත් කරන ලදී.

රෝහලේදී මුලින් කටු ඇනීමේ සිද්ධිය හෙළිදරව් නොකර වමනය, උණ ආදී අසනීප ගැන පැවසුවත් වෛද්‍යවරුන් විසින් සිද්ධිය බළන්ගොඩ පොලිසියට දැනුම්දී ප්‍රශ්න කිරීමෙන් පසු මුහුණ දුන් සිද්ධිය ප්‍රකාශ කර ඇත.

මැය 28 හැවිරිදි එක්‌දරු මවකි. තමන් මාස පහක්‌ පමණ සේවය කළ නිවසේ වැඩ අධික බව දන්වා වෙනත් නිවසකට මාරු කරන ලෙස මෙරට ඒජන්සිකරුගේ ක්‌වේට්‌ රටේ නියෝජිතවරියට පවසා ඇත. එහිදී "උඹට ඇයි එහෙ ඉන්න බැරි" කියා ඒජන්සිකාරිය හා ඇගේ සගයකු විසින් පපුවට කටු කීපයක්‌ ඇන්න බව ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත.

මේ පිළිබඳව බළන්ගොඩ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය බී. එම්. සී. දසනායක මහතා ප්‍රකාශ කළේ ශල්‍යකර්මයක්‌ මගින් ශරීරයේ තිබූ කටු දෙකක්‌ ඉවත් කළ බවයි.

බළන්ගොඩ පොලිසියේ ස්‌ථානාධිපති ප්‍ර. පො. ප. රංජිත් දසනායක මහතාගේ උපදෙස්‌ පරිදි බළන්ගොඩ රෝහල් පොලිසියේ පො. සැ. (23808) ජයරත්න මහතා අදාළ සාක්‌ෂි සටහන් කර ගත්තේය. වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.