විශ්වවිද්‍යාල හතරක ආචාර්යවරු වර්ජනයේ යෙදී නැහැ
- එස්‌. බී. දිසානායක


අජිත් අලහකෝන්, අකිත පෙරේරා

විශ්වවිද්‍යාල හතරක සහ ත්‍රිකුණාමල මණ්‌ඩපයේ කිසිදු ආචාර්යවරයෙක්‌ වැඩවර්ජනයේ යෙදී නැතැයි උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා ඊයේ (09 වැනිදා) පාර්ලිමේන්තුවේදී කීවේය.

ස්‌ථාවර නියෝග 23/2 යටතේ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා මෙසේද කීය.

ආචාර්ය වර්ජනය ගැන මමත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමත්, වැටුප් හා සේවක සාධක කොමිසමත්, මුදල් අමාත්‍යාංශයත් සාකච්ඡා කළා.

මේ රටේ කාටවත් නැති ආකාරයේ වැටුප් වැඩිවීමක්‌ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ලබාදී තිබෙනවා. මේකට මැදිහත්කරුවකු ලෙස සම්බන්ධ වන්නැයි බැසිල් රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලුවේ මම.

මේ ආචාර්යවරුන්ගේ සමහර ඉල්ලීම් හාස්‍යජනකයි. මේ වර්ජනයේදී ඌවවෙල්ලස්‌ස, අග්නිදිග, බෞද්ධ හා පාලි, අනුරාධපුර භික්‍ෂු, ත්‍රිකුණාමල මණ්‌ඩපයේ කිසිම ආචාර්යවරයකු වර්ජනය කර නෑ. එනිසා සියලු ආචාර්යවරු වර්ජනයේ කියා කියන්න බෑ. ඉතිරි විශ්වවිද්‍යාලවලත් සියයට තිහත් පනහත් අතර සේවය කරනවා.

මේ පිළිබඳව අද හෝ හෙට යළිත් විශ්වවිද්‍යාල ආචාර්යවරු සමග සාකච්ඡා කිරීමට නියමිතයි. 2000 සිට 2012 දක්‌වා අපි උසස්‌ අධ්‍යාපනයට මුදල් වැඩි කර තිබෙනවා. එAත් 2002, 2003 වසරවල රනිල් වික්‍රමසිංහ මහතාගේ කාලයේදී සතයක්‌වත් වැඩි කරලා නැහැ.

ඉසෙඩ් ස්‌කෝර් ප්‍රශ්නය ගැන විපක්‍ෂ නායකතුමා කතා කර තිබෙනවා. මේ පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා උප කුලපතිවරු පොරොන්දු වී තිබෙනවා. වැඩිපුර සිසුන් ගන්නා බවට. අපේක්‍ෂාභංග වූ දරුවන් ගන්න අපි කටයුතු කරනවා. මේ වෙද්දී අති බහුතර ආචාර්යවරුන් පිරිසක්‌ සේවයේ යෙදී සිටිනවා.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.