ගංජා ඇතේ හොර කපුවොත් අඩු නැත්තේ
ගිජිඳා අතේ ඇත මට්‌ටුව කැබලිත්තේ


යාල ජාතික වන උද්‍යානයටත්, කුමන ජාතික වන උද්‍යානයටත් මේ දිනවල දිවා රාත්‍රි අඛණ්‌ඩව පැමිණෙන ජීප්, ට්‍රැක්‌ටර් රථ නිසා වන සතුන්ගේ ජීවන රටාව පවා බිඳ වැටී ඇත. වෙනදා එහි තිබුණු සන්සුන් බවද අද එහි නැත. කුමන වන උද්‍යානය මැද්දෙන්ද, කොටියාගලින්ද, ඇතිමලේ මාර්ග ඔස්‌සේද, යාල වනය ඔස්‌සේද මේ ජීප්, ට්‍රැක්‌ටර් රථ මහා පරිමාණයෙන් ඇදී එන්නේ යාල වන උද්‍යානයේ අංක 2 කලාපයේ පවතින මහා සියඹලාව හෙවත් කැබිලිත්ත දේවාලය වෙතයි.

කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්‌කම් හෑල්ලුවට ලක්‌ කරන බොහෝ දෙනා විවිධ අකරතැබ්බවලට ලක්‌වූ සිද්ධීන් කීපයක්‌ දැකගන්නට ලැබුණි. වනය රැකීම වනජීවී නිලධාරීන්ගේ වගකීමක්‌ වුවත් මහා කැබිලිත්ත (සියඹලා දේවාලය) අවට වනය රකින්නේ වන සතුන්ය. මේ වන සතුන්ට මැති ඇමැතිවරුන් ද ඉහළ පහළ පුද්ගලයන් ද කියා වෙනසක්‌ නැත. කුමන තරාතිරමේ අයකු වුවද මහා කැබිලිත්ත පරිසරයට හානි පමුණු වන්නේ නම් වන සතුන් ගෙන් නම් සමාවක්‌ නොලැබෙන බව සත්‍යයකි.

කතරගම දෙවියන් භාවනානුයෝගී ලෙස වැඩ සිටින බවට අප විශ්වාස කරන මහා කැබිලිත්තේ හාස්‌කම් උරගා බැලීමට පසුගියදා ගිය පිරිසකට වන අලියකු විසින් මතක තියෙන පාඩමක්‌ කියා දෙනු ලැබීය. සිය ජංගම දුරකථන ද මුදල් ද ඇතුළු රථවාහනවලට අදාළ යතුරුද අහිමිව හිස්‌ අතින් යන්තම් පණ බේරාගෙන පැමිණි පුවතක්‌ මට වාර්තා විය.

නුගේගොඩ හා අතුරුගිරියේ සිට පැමිණි පිරිසක්‌ යාල ජාතික වන උද්‍යානය හරහා කඳවුරු ගතකරන මුවාවෙන් අංක 2 කලාපය ඔස්‌සේ කුඹුක්‌කන් ඔය හරහා කැබිලිත්ත දේවාලය වැඳීමට ගියේ ජීප් රථයේ රියදුරුගේ අවවාද අනුශාසනාවන්ද තුට්‌ටුවකටවත් ඇහුම්කන් නොදෙමින්ය. ගංජා සුරුට්‌ටුවක්‌ද අදිමින් තරුණයන් කීපදෙනකු මෙම ගමනට එක්‌වූ අතර කීප දෙනකුගේ විරෝධය නිසා ගංජා සුරුට්‌ටුව වීසිකර දැමීමට පසුව සිදුවී ඇත.

කෙසේ හෝ සවස 5 පමණ වන විට මෙම පිරිස කැබිලිත්ත දේවාල භූමියට පැමිණි අතර සිද්ධිය වූ 7 වැනි දින විවිධ ප්‍රදේශ ඔස්‌සේ රථවාහන 75 ක්‌ පමණ කැබිලිත්ත වෙත පැමිණ තිබුණි.

පුද පූජා පිළිබඳව හෝ දැනුමක්‌ නොමැති මෙම පිරිසට ඔවුන් රැගෙන ගිය රියදුරු රනිල් විසින් මෙම භූමියේ ලැගුම් ගෙන සිටි කපුවකු මුණගස්‌සවන ලදී.

විශාල පිරිසක්‌ පූජාව පැවැත්වීමට සිටි නිසා මෙම පිරිසට පූජාව තැබීමට ලැබුණේ රාත්‍රී 9 ටය. පුද පූජාවට අමතරව පැණි බතක්‌ද පිළියෙල කළ මෙම පිරිස කුඹුක්‌කන් ඔයෙන් එතෙර කළ කපුවා ද සියලුම දෙනාට ඇසෙන පරිදි ඔහුගේ මුදල රුපියල් දහ දාහක්‌ බව පැවසීය.

අසල බෝධියට පහනක්‌ තබා වැඳ සාධුකාර දෙමින් මහා වනයෙන් වටවූ සියඹලා දේවාලයට පැමිණි පිරිසේ එක්‌ අයකුට සියලුම දෙනාගේ ජංගම දුරකථන 9 ක්‌ද, රුපියල් (75000 ක්‌) හැත්තෑපන්දාහක්‌ද ඔවුන් පැමිණි කතරගම දමා ආ රථවාහනවලට අදාළ යතුරුද, මුදල් ලබාගැනීමට භාවිතා කරන කාඩ්පතක්‌ ද බෑගයක දමා ආරක්‌ෂා කරන ලෙස බාරදුනි.

සියඹලා දේවාලයට පැමිණි පිරිස දෙවියන්ට රැගෙන ආ පලතුරු පූජාවන් අසල මැස්‌සේ තැබූ අතර කපු මහතා ද පිරිවටයක්‌ ඇඳ සැරසුණේ තමන් 7 වරක්‌ මෙම ස්‌ථානයේ දී දෙවියන් දුටු බව පවසමින් කෙබරයක්‌ බාමින්ය.

ගතවූයේ තත්ත්පර කීපයකි. කළුවර පැවැති වනයෙන් ගස්‌ අතු බිඳිමින් කලු කුට්‌ටියක්‌ වැනි දෙයක්‌ ළඟට එනවා දුටු අයකු අතේ දැල්වෙමින් තිබූ විදුලි පන්දම එල්ල කර පැවසුවේ ඒ අලියකු බවයි. පැමිණි පිරිසටත් කලින් මාර්ගය දන්නා කපු මහතා දුවන්නට විය. උණු උණුවේ රැගෙන ආ පැණි බත් මුට්‌ටියද බිමට වැටුණු අතර එය පෑගී එක්‌ අයකු ලිස්‌සා වැටුණත් තවත් අයකු ඔහුට උපකාර නොකරම දිව යන්නට විය.

කළුවර නිසා දිවගිය අය ගස්‌වල හැප්පුණු අතර පිරිස පසුපස පන්නා ආ අලියාට උණු උණුවෙන් රැගෙන ආ පැණි බත් මුට්‌ටිය පෑගී ඌ ද බිය විය. එම ස්‌ථානයට පැමිණි වන අලියා ඒ සියලුම පළතුරු වට්‌ටිද, බිම දමා කපු මහතාට අයත් දෙහි ගෙඩි ගිරය ඇතුළු ආම්පන්න සියල්ලද පාගා දැමීය. එලෙස එම පිරිස

රැගෙන ආ සියලුම දේවල් පොඩිකර දැමූ අලියා ඉන්පසු ඒ අසල බෝධි පූජාවක්‌ තැබූ පිරිස ද එළවා දැමීය. පෙර පූජාව තැබූ තරුණ පිරිස සුළු තුවාල ලබා ඔයෙන් එතෙර වූ අතර පූජාව තැබීමට සිටි තවත් පිරිසකට දේවාල භූමියට යා නොහැකි පරිදි අලියා පැය 4 ක්‌ එහි මුර කරමින් පසුවිය.

යන්තම් එළිය වැටුණු පසු පිරිස තමන් සතු වටිනා ජංගම දුරකථන හා මුදල් තිබූ බෑගය ලබා ගැනීමට ගියද දක්‌නට ලැබුණේ සියල්ල දමා තිබූ බෑගය වීසි කර දමා එහි තිබු මුදල් හා ලියකියවිලි ද, දුරකථන ද නොමැති බවයි. පූජාවට සකස්‌ කළ සියල්ල කුඩුපට්‌ටම් කර දමා තිබූ අතර පැමිණි තරුණයන් පැමිණ සිටි සැමගෙන් ඉල්ලා සිටියේ තම හැඳුනුම්පත හා ජංගම දුරකථන ලබාදෙන ලෙසයි. එසේ මෙම ඉල්ලීම කරනු ලැබුවේ වන අලියා මෙම පිරිසට අයත් වටිනා මුදල් ඇතුළු ජංගම දුරකථන වන අලියා කිසිම අයුරකින් රැගෙන නොගිය බව දන්නා නිසයි.

තරුණ පිරිස පුරා වරුවක්‌ තම ජංගම දුරකථන ඇතුළු අහිමි වූ භාණ්‌ඩ සොයා ඒවා නොලැබුණු නිසා ආපසු පැමිණ ජීප් රථ රියදුරුගේ ගිණුම් අංකය වෙත සිය නිවෙස්‌ වෙතින් මුදල් ගෙන්වාගෙන ජීප් රථ සඳහා රුපියල් හැත්තෑදහසක්‌ද, තමන් සතු වාහන සඳහා ඉන්ධන ද ගසාගත් පිරිස කතරගම මහා දේවාලයට පැමිණ දෙවියන්ට පඬුරු ගැටගසා සිය ගම්බිම් වෙත පියමන් කරනු ලැබීය.

තවත් රසවත් සිද්ධියක්‌ පසුගිය

3 වැනි දින සිදුවිය. ඔහු මාලඹේ සිට පැමිණි අයෙකි. කතරගම දේවාලයේ ඇසළ පෙරහැර නරඹා අනතුරුව පාපැදියෙන් මොණරාගල හරහා කොටියාගල ගමට පැමිණ තමන් සිය පාපැදියෙන් සියඹලා දේවාලය වැඳ ගැනීමට යන බවත් එය වාර්තාවක්‌ වනු ඇතැයි පැවසූ මෙම පුද්ගලයා කොටියාගල ගමේ කීපදෙනකුගෙන් පොතක අත්සන්ද ගෙන පාපැදියෙන් කැබිලිත්ත දේවාලයට පැමිණ කුඹුක්‌කන් ඔය අසළ දේවාලය වැඳ පුදා ගැනීමට පැමිණි පිරිස්‌ වෙත පුරසාරම් දොඩවමින් පැවසුවේ තමන් කතරගම දෙවියන් සමග එකට භාවනානුයෝගීව සිට ඇති බැවින් කතරගම දෙවියන්ගේ ආරාධනාවකට අනුව භාවනා කිරීමට මෙම ස්‌ථානයට පැමිණි බවය.

මෙම පුද්ගලයා එසේ කියා පැයක්‌ පමණ කාලයකින් ඔයෙන් එපිට ඇති කැලයේ සිට මරලතෝනි හඬක්‌ නැගුණි. පැමිණ සිටි පිරිස්‌ මෙම ස්‌ථානයට ගොස්‌ බැලීමේදී දැක ගැනීමට හැකිවූයේ වන අලියාගේ ප්‍රහාරයකට ලක්‌ව සිය කකුළ හා කොන්ද කඩාගෙන කෑගසන දෙවියන් සමග භාවනා කර ඇතැයි පැවසූ අර පුද්ගලයායි.

තුවාල සිදුවූ පුද්ගලයා මොණරාගල රෝහලට ඇතුළත් කිරීමට පැමිණ සිටි පිරිසක්‌ ඉදිරිපත් වීම නිසා ඔහුගේ ජීවිතය බේරුණි.

මෙම කැබිලිත්ත දේවාලය වන්දනා කිරීමට යන පිරිස විශාල ලෙස ඉහළ ගොස්‌ තිබේ. කතරගම මහා දේවාලයට යනවා මෙන් මෙම ප්‍රදේශයට පැමිණෙන පිරිස ඉතා ඉහළ ගියත් මෙම පිරිස්‌ පාලනය කිරීමට වගකිව යුතු අංශ තවමත් අපොහොසත් වී ඇත.

නීති විරෝධී ලෙස කිසිදු අයකුගේ අවසරයකින් තොරව ඕනෑම අයකුට පැමිණීමට මාර්ග දෙකක්‌ පවතී. එය කොටියාගලින් හා ඇතිමලෙන් පැමිණීමට ඇති මාර්ගයන් වේ.

මෙයට අමතරව වනජීවී අවසරයකින් කුමන ජාතික වන උද්‍යානය හරහා ද, කතරගම ගල්ගේ මුරපොළ අසලින්ද, යාල ජාතික වන උද්‍යානය හරහාද පැමිණීමට ඇති මාර්ගයන් වේ. මෙම ගමනට පැමිණීමට ජීප් රථයක්‌ රුපියල් තිස්‌පන්දාහක්‌ (35,000) වැනි මුදලක්‌ ලබා ගන්නා අතර ලොකු ට්‍රැක්‌ටර් රථයක්‌ රුපියල් විසිදාහක්‌ (20,000 ක්‌) පමණ අය කරති. මෙම ප්‍රදේශය වනජීවී ප්‍රදේශයක්‌ වුවත් මේ වන විට මුදල් ඉපයීම සඳහා විවිධ පුද්ගලයන් පෙළඹී සිටිති.

ඇතිමලේ ගංජා වගාකරුවන්ද කපුවන් ලෙස පැමිණෙන බැතිමතුන් රවටමින් තමන්ට පරම්පරාවෙන් හිමි බූදලයක්‌ බව පවසා පූජාව තබමින් අති විශාල ලෙස අසරණ ජනයාගෙන් මුදල් ගරාගනු ලබයි. මෙම කපුවන් ලෙස සිටින පුද්ගලයන් බැතිමතුන්ට ලබාදෙන බඩු ලැයිස්‌තුව ලොකු මුදලක්‌ වැයකර අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට හැකිවන අතර ඇතැම් කපුවන් ලෙස සිටින පුද්ගලයන් මෙම බඩු තුණ්‌ඩුවට සාරි සරම්ද එක්‌කරන අතර අධික මිලක්‌ ඇති සඳුන් තෙල් ලීටර් ගණන් රැගෙන එන ලෙසද දන්වති.

මේ වන විට විවිධ පුද්ගලයන් විසින් දඹදිව වන්දනා සංවිධානය කරනවා මෙන් කැබිලිත්ත වන්දනාවද සංවිධානය කර අධික ලෙස මුදල් ඉපයීමේ ජාවාරමක නිරත වී ඇත. මෙම පිරිස්‌ අතර බැතිමතුන්ද, බැතිමතුන් නොවන විනෝදකාමීන්ද පැමිණෙන අතර මෙම පිරිස්‌ පරිසරයට මුදාහරින අපද්‍රව්‍ය සුළු පටු නොවේ.

මෙම කැබිලිත්ත දේවාලය පිළිබඳව අදහස්‌ දැක්‌වූ කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී. රත්නායක මහතා පැවසුවේ අප රට ආක්‍රමණය කළ ඕලන්දක්‌කාරයන් රටේම වෙහෙර විහාර කඩා දමා වස්‌තුව පැහැර ගැනීම නිසා පැවති වාතාවරණය මත කතරගම දේවාලය සතු වස්‌තුව පාරම්පරික කපු පරපුර විසින් හොර රහසින් අද ඇති සියඹලා දේවාලය පිහිටි භූමියේ තිබූ විශාල සියඹලා ගසක දෙබලක්‌ තුළ සඟවා පුද පූජා කළ බවයි.

ඕලන්දක්‌කාරයන් ඌව පළාතින් ගිය පසු කතරගම දේවාලයට අයත් සියලුම වස්‌තුව නැවත කතරගම මහා දේවාලයට රැගෙන ආ බව සොමිපාල ටී. රත්නායක කපු මහතා පැවසීය.

කතරගම දෙවියන්ට අයත් වස්‌තුව තැන්පත් කර තිබීම නිසා මෙම සියඹලා ගස ප්‍රසිද්ධියට පත්වූ බවත්, දඩයක්‌කරුවන්, හේන් ගොවියන් විසින් ඉඳහිට පුද පූජා තැබූ බව සොමිපාල ටී. රත්නායක කපු මහතා පැවසීය.

වසර 30 ක්‌ පැවති කොටි ත්‍රස්‌තවාදී තර්ජන හමුවේ මෙම පළාතට කිසිවකු නොපැමිණි අතර යුද්ධය අවසන් වීමෙන් පසු නැවත ජනයා මෙම පළාතට පැමිණීම ආරම්භ කරනු ලැබීය. මේ වන විට ඇතැම් පිරිස්‌ මෙම කැබිලිත්ත වන්දනාවේ එන මුවාවෙන් යාල වනයට පැමිණ නටබුන්ව ඇති වෙහෙර විහාර හාරාදමා පුරාවස්‌තු රැගෙන යැමට පටන්ගෙන තිබේ. දිවුලාන පුද බිම හාරනු ලැබුවේ ද මෙම කැබිලිත්තට පිරිස්‌ පැමිණීම ආරම්භ වීමෙන් පසුවයි.

මෙයට අමතරව "දිවයින" මගින් තවත් හෙළි නොවූ කරුණක්‌ අනාවරණය කළ යුතුය. එනම් ගංජා වගාවට ප්‍රසිද්ධියක්‌ උසුලනුයේ තණමල්විලයි. 2 වැනි තැනට ප්‍රසිද්ධියක්‌ උසුලනුයේ කොටියාගල හා ඇතිමලේ යන ප්‍රදේශයන්ය. මේ වන විට කොළඹ ප්‍රදේශයේ පුද්ගලයන් කැබිලිත්තේ එන මුවාවෙන් කොටියාගලින් ඇතිමලෙන් සුපිරි ජීප් රථවලට ගංජා පටවන්නේ කිසිදු අයුරකින් මෙම ප්‍රදේශ ඔස්‌සේ එන රථවාහන පරීක්‌ෂා කිරීම නොකරන බව දන්නා නිසාය.

කතරගම
කේ. ඩී. දේවප්‍රිය
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.