අපේ රටේ විශ්වවිද්‍යාල නව යුගයට
ගැලපෙන ලෙස වෙනස්‌ කළ යුතුයි

- ඇමැති එස්‌. බී. දිසානායක

අප රටේ විශ්වවිද්‍යාල නව යුගයට ගැලපෙන පරිදි වෙනස්‌ කළ යුතු යෑයි උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා පැවසීය. අමාත්‍යවරයා මෙම අදහස්‌ පළ කර සිටියේ ඉකුත් 15 වැනිදා රුපියල් මිලියන 216 ක වියදමින් ඉදිකිරීමට නියමිත රජරට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය සඳහා වන තෙමහල් ගොඩනැඟිල්ලට මුල්ගල් තැබීමේ අවස්‌ථාවට සහභාගි වෙමිනි. 2014 වසරේ ජනවාරි මාසය වන විට මෙහි ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිතය.

එහිදී අදහස්‌ දැක්‌වූ අමාත්‍යවරයා, රජරට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයට අත්‍යවශ්‍යව තිබුණ ගොඩනැඟිල්ලකට මුල්ගල තැබීමට ලැබීම ගැන ඉතාම සතුටු වෙනවා. අපේ රටේ විශ්වවිද්‍යාල 15 ක්‌ තියෙනවා. එම විශ්වවිද්‍යාල පාලනය වෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන්. තවත් බෞද්ධ විශ්වවිද්‍යාල 02 ක්‌ තිබෙනවා. ඒවා උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය වෙනවා. උපාධි ප්‍රදානය කිරීමට වරම් දුන් තවත් ආයතන 09 ක්‌ තිබෙනවා.

මෙම රජයේ විශ්වවිද්‍යාල 17 අතරින් විශ්වවිද්‍යාල ලෙසම සැලසුම් කර ආරම්භ කළ විශ්වවිද්‍යාල ඇත්තේ ඉතාම ස්‌වල්පයක්‌. ඒවා නම් පේරාදෙණි විශ්වවිද්‍යාල, නිරිතදිග විශ්වවිද්‍යාල, රුහුණ විශ්වවිද්‍යාලය හා ඌව වෙල්ලස්‌ස විශ්වවිද්‍යාලයයි. මේ විශ්වවිද්‍යාලයත් උදාගම් භූමිය තුළ වෛද්‍ය විද්‍යාලය හා ගුරු විද්‍යාලය ඇති ඉඩමේ විශ්වවිද්‍යාලයක්‌ හැටියට ගොඩනඟන ලද්දක්‌. එහෙත් විශ්වවිද්‍යාලවල ප්‍රගතිය සම්බන්ධයෙන් කතා කිරීමේදී රජරට විශ්වවිද්‍යාලය සෙසු විශ්වවිද්‍යාලවලට සාපේක්‍ෂව ඉතාම කෙටි කලකින් විශාල ප්‍රගතියක්‌ ලබලා තිබෙනවා. ඊට ප්‍රධානම හේතුවක්‌ වන්නේ විශ්වවිද්‍යාල වෙතින් තමුන් වෙනුවෙන් වෙන්වෙන ප්‍රාග්ධන වියදම් හොඳින් වියදම් කිරීමයි. ගිය වසරේදී සියලුම විශ්වවිද්‍යාල වියදම් කළ ප්‍රාග්ධන වියදම්වල සාමාන්‍ය වන්නේ 47% - 48% ක්‌ වැනි ප්‍රමාණයක්‌. ප්‍රාග්ධන වියදමින් 30% ක්‌ පමණක්‌ වියදම් කළ විශ්වවිද්‍යාලත් තිබුණා. එහෙත් රජරට විශ්වවිද්‍යාල තමාට වෙන්වුණ මුදලින් 80% කට ආසන්න මුදල් ප්‍රමාණයක්‌ වියදම් කරල තියෙනවා. මේ සඳහා විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා, පීඨාධිපතිවරු, විශ්වවිද්‍යාලයේ පාලක සභාව, ලේඛකාධිකාරීතුමා, ඉංජිනේරුතුමා, අනධ්‍යයන කාර්ය මණ්‌ඩලය වගේම උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා මුදල් අමාත්‍යාංශය කියන සියලුම ආයතන හා පුද්ගලයන්ගේ උනන්දුව අවශ්‍යයි. මම දන්නවා උපකුලපතිතුමා මේ සියලු ආයතන තල්ලු කරගෙන, සහයෝගය අරගෙන මෙම විශ්වවිද්‍යාලය ඉදිරියටම රැගෙන යනවා. ඒ ප්‍රගතිය හා වේගය පිළිබඳව අපේ විශේෂ ගෞරවය රජරට විශ්වවිද්‍යාලයට ලබාදෙන්න කැමතියි.

අපි විශ්වාස කරනවා මේ විශ්වවිද්‍යාල වෙනස්‌ වෙන්න ඕනේ කියල. ආචාර්ය මහාචාර්යවරු එකතුවෙලා මේවා වෙනස්‌ කරන්න ඕනේ. ලෝකයේ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට ගේන්න නම් නව යුගයට ගැලපෙන පරිදි අලුත් පාඨමාලා ආරම්භ කරන්න ඕනෙ.

අපේ දරුවන් උපාධිධාරීන් ලෙස සමාජගත කරද්දී ඔවුන්ට වටිනාකමක්‌, ඉල්ලුමක්‌, මිලක්‌ නිර්මාණය කරන්න ඕනෙ. විශ්වවිද්‍යාලයක්‌ කියන්නේ වෘත්තීය පුහුණු ආයතනයක්‌ හෝ කාර්මික පුහුණු ආයතනයක්‌ නෙමෙයි. එහෙත් විශ්වවිද්‍යාලය තුළින් බිහිවන විද්‍යාර්ථයාට ලෝකයේ, සමාජයේ වටිනාකමක්‌ තිබීම අවශ්‍යයි. ඒ පැත්තෙන් ගත්තත් රජරට විශ්වවිද්‍යාල සීඝ්‍රයෙන් වෙනස්‌ වෙනවා. පාඨමාලා මාධ්‍යයන් වෙනස්‌ කරමින් නවීන ලෝකයේ විශ්වවිද්‍යාලවල පෙරළිකාර වෙනස්‌වීම් එක්‌ක බද්ධ වෙලා ඉදිරියට යන්න උත්සාහ කරනවා.

එහෙත් තවම රජරට විශ්වවිද්‍යාලයට ආචාර්යවරුන් බඳවාගැනීමේදී යම් යම් ගැටලු ඇති වෙනව. නගරයෙන් තරමක්‌ දුරින් පිහිටීම හා පහසුකම් සම්බන්ධ විවිධ ප්‍රශ්න නිසා ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරු බඳවා ගැනීමේදී දුෂ්කරතා මතුවෙනවා. නගරයෙන් තරමක්‌ දුරින් පිහිටීම හා පහසුකම් සම්බන්ධ විවිධ ප්‍රශ්න නිසා ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරු බඳවා ගැනීමේදී දුෂ්කරතා මතුවෙනවා. ශ්‍රී ලංකාවේ අනෙකුත් විශ්වවිද්‍යාලවලටත් ආරම්භක අවධියේදී මේ තත්ත්වයට මුහුණ දෙන්න සිදුවුණ බව අපි අමතක කරන්න හොඳ නෑ. මම 1970 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු සිදුකළ අවධියේ එහි ඉතාම සීමිත ගොඩනැඟිලි ප්‍රමාණයක්‌ හා ශිෂ්‍ය නේවාසිකාගාර 03 ක්‌ පමණයි තිබුණේ. මුල් කාලයේ අපහසුතා හැම විශ්වවිද්‍යාලයකටම තියෙනවා. දරුවන් වගේම අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්‌ඩලයත් දුක්‌ විඳිනවා. ඒ දුක්‌ විඳීමේ ප්‍රතිඵල ලෙස එම විශ්වවිද්‍යාල වැඩෙනවා.

තවමත් උසස්‌ පෙළ හදාරන දරුවන්ගෙන් 53% ක්‌ කලා විෂයයන් හදාරන්නේ. මේ දරුවන් කලා විෂයයන් හදාරන්නේ විද්‍යා, වාණිජ විෂයය ධාරාවන් හැදෑරීමට දක්‍ෂතා නැති නිසා නොවෙයි. මේ දරුවන් ජීවත්වන ප්‍රදේශවල ඒ පහසුකම් තිබෙන පාසල් නැති නිසා. තවමත් ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස 328 න් 72 ක විද්‍යාව විෂය ධාරාව උසස්‌ පෙළ සඳහා තිබෙන එක විද්‍යාලයක්‌වත් නෑ. ඒ නිසා දරුවන් කොයි තරම් දක්‍ෂ වුණත්, නගරයට එන්න අවශ්‍ය ආර්ථික ශක්‌තිය නැති නිසා ළඟ තිබෙන ගමේ මහා විද්‍යාලයට ගිහිල්ල කලා විෂයයන් හදාරන්න වෙනවා. එහෙත් විශ්වවිද්‍යාලයට ආවට පසු දරුවන්ට, ඒ විෂයයන්ම හදාරන්න ඕනේ කියල නීතියක්‌ නෑ. මේ වන විට ඔස්‌ටේ්‍රලියාවේ වික්‌ටෝරියා ප්‍රාන්තයේ මෙල්බන් විශ්වවිද්‍යාලය තුළ ඉංජිනේරු උපාධිය අහෝසි කරලා ඉංජිනේරු පශ්චාත් උපාධි ලබාදීමේ වැඩපිළිවෙළක්‌ ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා විවිධ භාෂාවන්, සමාජ විද්‍යාව, මනෝවිද්‍යාව, දේශපාලන විද්‍යාව ආදී විවිධ විෂයයන් හැදෑරූ ශිෂ්‍යයන් බඳවාගෙන, වසරක පදනම් පාඨමාලාවකින් අනතුරුව වසර 03 කින් ඉංජිනේරු පශ්චාත් උපාධියක්‌ ලබාදෙනවා. අපිටත් පුළුවන් ලංකාවේ විශ්වවිද්‍යාල තුළ ඒ කටයුත්ත සිද්ධ කරන්න.

අපේ දරුවන් විශ්වවිද්‍යාලයෙන් එළියට ගියහම විටින්විට ආණ්‌ඩුව ලබාදෙන තොග පත්වීම් බලාපොරොත්තුවෙන් පෝලිමේ ඉන්නේ නැතුව රටේ අවශ්‍යතාව අනුව තමාට අවශ්‍ය රැකියාවට අනුකූල වන මූලික සුදුසුකම් සම්පූර්ණ කරන විශ්වවිද්‍යාල පද්ධතියක්‌ අවශ්‍යව තියෙනවා. රැකියාවන්ට අවශ්‍ය වන භාෂා දැනුම, පෞරුෂය හා දැනුමින් දරුවන්ව සන්නද්ධ කිරීමට අපි සියලු දෙනාම පෙළගැසෙන්න ඕනෙ. මේ සියලුම දරුවන් රටට නොවේ, ලෝකයට සූදානම් කරන දරුවන් ලෙස එළියට යවන්න. අපේ විශ්වවිද්‍යාලවල තත්ත්වය වේගයෙන් වෙනස්‌ කරන්න ඕනේ. ඒ අතින් ගත්තත් රජරට විශ්වවිද්‍යාලය වේගයෙන් නව්‍යකරණය වන නිර්මාණාත්මක විශ්වවිද්‍යාලයක්‌ ලෙස හඳුන්වන්න පුළුවන්.

රජයක්‌ හැටියට අපි නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ මේ රාජ්‍ය විශ්වවිද්‍යාල ශක්‌තිමත් කරන්නයි. අපි විශ්වවිද්‍යාල සඳහා වෙන් කරන ලද මුදල් ප්‍රමාණය පසුගිය වසර 06 තුළ ශීඝ්‍රයෙන් වැඩි කරල තියෙනවා. 2005 වසරේදි රු. මි. 5000 ක්‌, 2010 වසරේදි රු. මි. 10,000 ක්‌, 2011 වසරේදී රු. මි. 19,000 ක්‌ හා 2012 වසරේදී රු. මි. 25,000 ක්‌ වෙන් කරනු ලැබුවා. මේ මුදල් වෙන්කර ගැනීම සඳහා අමාත්‍යවරයා හැටියට මා මෙන්ම උපකුලපතිවරුන් විශාල හඬක්‌ නැගුවා. ඒ නිසයි අපි කියන්නේ ඒ වෙන් කරන ලද මුදල් ඵලදායි ලෙස වියදම් කරන්න කියලා. නමුත් එක්‌ විශ්වවිද්‍යාලයක්‌ රු.මි. 42 ක්‌ ආපසු යෑව්වා. තවත් විශ්වවිද්‍යාලයක්‌ රු.මි. 31 ක්‌ ආපසු යෑව්වා. ඒ වරද නැවත වරක්‌ විශ්වවිද්‍යාල තුළ සිදුවීමට අපි ඉඩ තියන්නේ නෑ. මාසිකව අපේ උපකුලපතිවරුන් එකතු කරගෙන අපි දැන් ප්‍රගති සමාලෝචනයක්‌ සිදුකරනවා.

මෙම අවස්‌ථාව සඳහා රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කේ. ඒ. නන්දසේන, කළමනාකරණ පීඨාධිපති මහාචාර්ය රංජිත් විජයවර්ධන, ලේඛකාධිකාරී කේ. ඩී. කරුණාරත්න හා උසස්‌ අධ්‍යාපන අමාත්‍යංශයේ ශිෂ්‍ය කටයුතු අධ්‍යක්‍ෂ ජනරාල් කිර්ති මාවැල්ලගේ යන මහත්වරු ඇතුළු පිරිසක්‌ සහභාගි වූහ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.