මහේශ්වරන් මරන්නට ශිවම් කෝවිලට ගිය
කොටි පිස්‌තෝල කරුවාගේ ගමනක නිමාව!

එක්‌සත් ජාතික පක්‌ෂ කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. මහේෂ්වරන්ව මෝදර ශිවම් කෝවිලේදී වෙඩි තබා මරා දැමූ මිනීමරුවාට පසුගිය 27 වැනිදා මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්‌ෂ විසින් මරණීය දණ්‌ඩනය නියම කළේය. මහේෂ්වරන් මන්ත්‍රීවරයා ඝාතනය කරන්නේ වර්ෂ 2008 දී, එනම් මීට සිව් වසරකට ඉහතදීය. වාර්ගික භේදයකින් තොරව මේ මිනීමැරුම රට කම්පාවට පත් කළේය. රුධිරයෙන් හා මරණයෙන් ඉතිහාසය ලියෑවෙමින් පැවති බිහිසුණු වකවානුවක මේ මරණය සුවිශේෂී කම්පනයක්‌ ඇති කරන්නේ මහේෂ්වරන්ව මරා දමනුයේ අලුත් අවුරුද්දක්‌ ලබන ජනවාරි පළමුවෙනිදා උදෑසනක වීමය. එමෙන්ම ඔහු ඝාතනය වන්නේ නව වසරක්‌ ආරම්භයේ ආගමික වතාවත් කරමින් සිටියදී කෝවිලක්‌ තුළදී වීමය. මේ සියලු දේ හරහා ප්‍රකාශ වෙමින් පැවතියේ රටේ පැවති ප්‍රතිමාණ රහිත ම්ලේච්ඡ යථාර්ථය ය. අමානුෂික තිරිසන්කමය. අලුත් අවුරුද්දක උදෑසනක්‌, බිහිසුණු මරණයක්‌ සමග එළිදකින රටක මිනිසුන්ගේ ජීවිත තිගැස්‌මය.

මහේෂ්වරන් ඝාතනයට හේතුව

ටී. මහේෂ්වරන් රටේ සිටි කෝටිපති ව්‍යාපාරිකයෙකි. ඔහුට තම ව්‍යාපාරය සතුව නැව් කීපයක්‌ ද තිබිණි. හෙතෙම එම නැව් මගින් කොළඹ සිට යාපනය දක්‌වා භාණ්‌ඩ ප්‍රවාහනය කළේය. සිංහල, දෙමළ හා ඉංග්‍රීසි තෙබසම චතුර ලෙස හැසිරවිය හැකි මේ ව්‍යාපාරිකයා දේශපාලනයට පැමිණෙන්නේ එක්‌සත් ජාතික පක්‌ෂයේ ක්‍රියාකාරිකයෙක්‌ ලෙසිනි. ඒ වර්ෂ 1999 දීය. හෙතෙම එම වසරේ පැවති ජනාධිපතිවරණයේදී යාපනය දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජාතික පක්‌ෂ සංවිධායකවරයා ලෙස කටයුතු කළේය. වර්ෂ 2001 මහ මැතිවරණයේදී යාපනය දිස්‌ත්‍රික්‌කය ස`දහා එක්‌සත් ජාතික පක්‌ෂයෙන් තරග කර මනාප පහළොස්‌ දහසකට වැඩි ප්‍රමාණයක්‌ ලබාගෙන පාර්ලිමේන්තුවට තේරී පත්වුණේය. ඉන් අනතුරුව 2006 මහ මැතිවරණයේදී ඔහු තරග කරනු ලැබුවේ කොළඹ දිස්‌ත්‍රික්‌කයෙනි. එම මැතිවරණයෙන් මනාප හැට දහසකට අධික ප්‍රමාණයක්‌ ලබා ඔහු නැවත පාර්ලිමේන්තුවට ගියේය.

මේ වකවානුවේදී උතුරේ බලය පිළිබ`ද සාධකයේ තීරණාත්මක සලකුණ වූයේ එල්.ටී.ටී.ඊය යි. මහේෂ්වරන් එක්‌සත් ජාතික පක්‌ෂයේ ප්‍රබල ද්‍රවිඩ නායකයෙක්‌ සේ මතු වී පැමිණීම මුලදී ඔවුන්ට ගැටලුවක්‌ වී නොතිබිණි. ඒ ස්‌වකීය ව්‍යාපාර කටයුතු හරහා එල්.ටී.ටී.ඊ යට උදව් කිරීම ස`දහා ඔහු ඉදිරිපත් වීමය. එහෙත් මේ උපකාර කිරීම් මහේෂ්වරන්ගේ ව්‍යාපාරික ජීවිතයටත් දේශපාලන ජීවිතයටත් බරපතළ ප්‍රායෝගික ප්‍රශ්න ඇතිකරමින් තිබිණි. අවසානයේදී කොළඹ දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජාතික පක්‌ෂ මන්ත්‍රීවරයෙක්‌ ලෙස පාර්ලිමේන්තුවට එන මහේෂ්වරන් එල්.ටී.ටී.ඊ යට උපකාර කිරීම අත් හළේය. මේ එක්‌සත් ජාතික පක්‌ෂ ද්‍රවිඩ නායකයා කොටින්ට ප්‍රශ්නයක්‌ වන්නේ ඉන් අනතුරුවය. ඔවුහු මහේෂ්වරන්ව මරා දැමීමට තීරණය කළහ.

මේ ජීවිත තර්ජනය රටේ බුද්ධි අංශ විසින් රජයට වාර්තා කෙරිණි. මහේෂ්වරන් මන්ත්‍රීවරයාගේ ආරක්‌ෂාව තර කළේය. පොලිස්‌ නිලධාරීන් 19 දෙනකුගේ ආරක්‌ෂාව මුලින් ඔහුට ලැබී තිබිණි. එහෙත් 2007 වසරේ දෙසැම්බර් දෙවන සතිය වන විට මේ ආරක්‌ෂාව ලිහිල් වූයේය. ආරක්‌ෂකයො දෙදෙනෙක්‌ පමණක්‌ මහේෂ්වරන්ට රැකවරණය සැපයූහ.



ඝාතනය සැලසුම

මේ මුළු කාලය අතරවාරයේම මහේෂ්වරන් ඝාතනය ස`දහා වන එල්.ටී.ටී.ඊ සැලසුම රහසේ ක්‍රියාත්මකව තිබිණි. මේ ඝාතන ඉලක්‌කය සම්පූර්ණ කර ගැනීම ස`දහා කොටි විසින් තෝරාගෙන සිටියේ ස්‌වකීය බුද්ධි හා මෙහෙයුම් අංශයේ සාමාජිකයෙක්‌ වූ ජොන්සන් කොලින්ස්‌ වැලන්ටිනෝ නමැත්තෙකි. කිලිනොච්චියේ ධර්මපුරම් හි පදිංචිව සිටි මේ තැනැත්තා එල්.ටී.ටී.ඊ යට සම්බන්ධ වන්නේ වර්ෂ 1992 දීය. පුහුණුව ලබන්නේ කිලිනොච්චියේ ය. පුහුණුවෙන් පසු ඔහු කොටි බුද්ධි අංශය වෙත තෝරා ගනු ලැබිණි. හෙතෙම කොටි පිස්‌තෝල කල්ලිය ද නියෝජනය කළ දක්‌ෂ වෙඩික්‌කරුවෙක්‌ විය. කොළඹ විශේෂ කොටි ප්‍රහාරක මෙහෙයුම් අංශයේද මේ තැනැත්තා කටයුතු කර තිබිණි. ඔහු කොටි ප්‍රහාර රැසකට බුද්ධි තොරතුරු සැපයූ එල්.ටී.ටී.ඊ යේ ප්‍රසාදජනක සටන්කරුවෙක්‌ විණි.

එල්.ටී.ටී.ඊය ජොන්සන් කොලින්ස්‌ව මහේෂ්වරන් ගේ ඝාතකයා ලෙස තෝරා ගන්නේ ඔහුගේ එම අත්දැකීම් පිළිබ`ද විශ්වාසය තබමිනි. ඔවුන් 2007 ඔක්‌තෝබර් මාසයේදී පමණ තම වෙඩික්‌කරුවාව කොළඹට එව්වේය. ඝාතකයා නවතින්නේ වත්තල ඔලියමුල්ල ප්‍රදේශයේය. ඔහු තම රැකියාව ලෙස තෝරාගන්නේ කුලී වැඩය. ප්‍රධානකොටම හේ පෙනී සිටියේ පින්තාරුකරුවෙක්‌ ලෙසිනි.

මේ වන විට කොළඹ ප්‍රදේශයේ කොටින්ගේ මෙහෙයුම් භාරව සිටියේ කපිල් අම්මාන් නමැත්තෙකි. ජොන්සන් කොලින්ස්‌ව හසුරුවනු ලැබුවේ මේ කොටි නායකයා විසිනි. කපිල් අම්මාන් නමැත්තාගෙන් ලැබෙන තොරතුරු හා මගපෙන්වීම මත ඝාතකයා මහේෂ්වරන්ගේ ගමන් බිමන් හා හැසිරීම් ගැන තොරතුරු එකතු කළේය. මහේෂ්වරන් නිරන්තරව කොටහේන ශිවම් කෝවිලට පැමිණියේය. ද්‍රවිඩ කතෝලිකයෙක්‌ වූ ඝාතකයා ශිවම් කෝවිල අසල වන පල්ලියට එන අතරම කෝවිල අසලද වැඩි වෙලාවක්‌ ගත කළේය. එළැඹෙන ජනවාරි පළමුවැනිදා උදෑසන නිසැකවම මහේෂ්වරන් ශිවම් කෝවිල වෙත එන බව ඝාතකයා විසින් තහවුරු කරගන්නේ ඒ අතරය. කොලින් තම ආසන්නම නායකයා සමග මේ පිළිබ`දව කතා කළේය. අනතුරුව ඝාතනය තීන්දු විණි. මහේෂ්වරන්ගේ මරණය වැනි මරණයකින් ඇතිවන තිගැස්‌මට වඩා වැඩි කම්පනයක්‌ ඇති කිරීම ජනවාරි පළමුවැනිදා ඝාතනයේ එල්.ටී.ටී.ඊ අභිප්‍රාය වූයේය.

මහේෂ්වරන් ඝාතනය

කොටින්ගේ කොළඹ ප්‍රදේශ මෙහෙයුම් නායක කපිල් අම්මාන් 2007.12.31 දින රාත්‍රියේ දී ඝාතකයා රැ`දී සිටි වත්තල ඔලියමුල්ලේ කුලී නිවසට පිස්‌තෝලයක්‌ එවනු ලැබුවේය. ඔහු මුල් වරට මේ මෙහෙයුම ස`දහා ගිනි අවියක්‌ අල්ලන්නේ ඒ මොහොතේය. ජනවාරි පළමුවැනිදා උදෑසන මේ කුඩා ප්‍රමාණයේ පිස්‌තෝලයත් සමග ශිවම් කෝවිලට පැමිණි ඝාතකයා දෙනෝදාහක්‌ බැතිමතුන් අතර මුහුවී ගියේය.

මේ අතර අලුත් අවුරුද්දේ ජීවිතය ආරම්භ කිරීමට පෙර දෙවියන් දකිනු ස`දහා අපේක්‌ෂා කළ පරිදිම ටී. මහේෂ්වරන් මන්ත්‍රීවරයා ශිවම් කෝවිලට පැමිණියේය. ඔහුගේ ආරක්‌ෂාව දිය කර හැර තිබුණද සන්නද්ධ පොලිස්‌ භටයින් දෙපළක්‌ ඔහු සමග පැමිණියහ. එහෙත් ආයුධත් සමග කෝවිල් බිමට ඇතුළුවීම නොරිසි බැවින් ඔවුහු කෝවිල් දොරකඩ විමසිල්ලෙන් පසුවූහ. කෝවිල තුළ ආගමික වතාවත්වල යෙදෙමින් සිටි මහේෂ්වරන් අසලට බැතිමතුන් අතර සිටි සුදු අත්කොට කමිසයකින් සැරසුණු අයෙක්‌ සමීප වන්නේ මේ අතරය. හෙතෙම එක්‌වර ස`ගවාගෙන සිටි මයික්‍රෝ වර්ගයේ පිස්‌තෝලයක්‌ ඇදගෙන මන්ත්‍රීවරයාගේ හිසට හා පපු ප්‍රදේශයට වෙඩි වරුසාවක්‌ එල්ල කළේය. මන්ත්‍රිවරයා කපාලු කෙසෙල් ක`දක්‌ සේ ඇදවැටුණේය.

දෙවියන්ගේ පාමුල තමන්ගේ නායකයෙක්‌ මැරී වැටී සිටී. බැතිමත්හු විලාප නගමින් හිස්‌ ලූ ලූ අත දිවයන්නට වූහ. ඒ මිනිසුන් අතරටම ගිය ඝාතකයා කෝවිලේ ප්‍රධාන දොරටුවෙන් පැන යන්නට උත්සාහ කරනු ලැබීය. එහෙත් මන්ත්‍රීවරයාගේ ආරක්‌ෂකයන් දෙපළ සිටියේ ප්‍රධාන දොරටුව අසලය. ආරක්‌ෂක නිලධාරීහු ඝාතකයාට වෙඩි තබන්නට වූහ. ආරක්‌ෂක නිලධාරීන්ට පෙරළා වෙඩි තබමින් ඝාතකයා කෝවිල තුළට වැදිනි. වෙඩි ප්‍රහාරය වැද ආරක්‌ෂක නිලධාරියාද තුවාල වූයේය. එහෙත් හෙතෙම ඝාතකයා ලුහු බැන්දේය. ඔහුද උදරය ප්‍රදේශයට වැදුණු වෙඩි පහරකින් තුවාල වූයේය.

කෝවිලේ සිදුවූ යුද්ධයෙන් එක්‌ අහිංසක තරුණයෙක්‌ වෙඩි වැදී මියගොස්‌ සිටියේය. බැතිමත්හු කීපදෙනෙක්‌ තුවාල ලදහ. මහේෂ්වරන් මන්ත්‍රිවරයා රෝහල වෙත රැගෙන යනවිටත් මෙලොව හැරගොස්‌ තිබිණි.

මේ අතර කෙසේ හෝ කෝවිල් බිමෙන් පැනගත් ඝාතකයා මග දිගේ තරමක්‌ දුර දිවගොස්‌ ඇදවැටුණේය. මහ මග ගමන්ගත් ත්‍රි රෝද රථයකින් ඔහු ජාතික රෝහලට රැගෙන යන ලදුව අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කෙරිණි. කොළඹ අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීන් ඝාතකයාව අත්අඩංගුවට ගන්නේ මෙසේ රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදීය.

මේ අත්අඩංගුවට පත්වීම විශේෂ සිදුවීමක්‌ විණි. මෙතෙක්‌ මෙවැනි ඝාතන ඉලක්‌ක සපුරා ගැනීමට එල්.ටී.ටී.ඊ ය යොදාගනු ලැබුවේ ස්‌වකීය මරාගෙන මැරෙන කාඩරයින්ය. එහෙත් මේ ඝාතකයාට සියදිවි හානි කරගැනීමේ වුවමනාවක්‌ නොතිබිණි. ඝාතනයට සති කීපයකට ඉහතදී මහේෂ්වරන් මන්ත්‍රීවරයාගේ ආරක්‌ෂාව දියකර හැරියේය. මේ තත්ත්වය තුළ මේ ඝාතනය සිදුකළේ කොටි විසින්මදැයි අයෙක්‌ සැක පහළ කළහ. වර්ෂ 2006 දෙසැම්බර් මස 24 වැනිදා මඩකලපුව ශාන්ත ජෝශප් පල්ලියේදී දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් වෙඩි තබා ඝාතනය කළේය. මිනීමරුවා හෙළි නොවිණි. පසුව දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජ රවිරාඡ් බොරැල්ලේදී ඝාතනය විය. තවමත් ඝාතකයින් දන්නේ නැත. එහෙත් මෙවර ඝාතකයා කොටු වී සිටියේය.

අවසානයේදී සියලු තතු කතාවක ආකාරයෙන් හෙළිවන්නට වූයේය. තෙවසරකට ආසන්න කාලයක්‌ මහේෂ්වරන් ඝාතන නඩුව ඇසිනි. අවසානයේදී ජොන්සන් කොලින්ස්‌ වැලන්ටිනෝ නමැති එල්.ටී.ටී.ඊ ඝාතකයා මේ බිහිසුණු මිනීමැරුමේ වරදකරු විය.

ඔහුව එල්ලා මරා දමන්නට තීන්දු විණි.

හේමන්ත රන්දුනු

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.