පුදනකොටම මාධ්‍ය අනාථයි!

චමිල කරවිට

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම අතර පැවැති පුහුණු තරගය ආවරණය කිරීම සඳහා ක්‍රීඩාංගණ මාධ්‍ය කුටියේ ප්‍රමාණවත් පහසුකම් සැපයීමට ලෝක කුසලාන කාර්යාල බලධාරීන් කටයුතු යොදා නොතිබීම මත මාධ්‍යවේදීන්ට දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවිය.

මාධ්‍යවේදීන්ගේ පරිගණක(ලැප්ටොප්) ක්‍රියාකරවීම සඳහා අවශ්‍ය 'පෙනු තූඩු' (ප්ලග් පොයින්ට්‌) සහ අන්තර්ජාල පහසුකම් ලබාදීම සාමාන්‍ය සිරිත වුවත් මෙම තරගයේදී එවැනි පහසුකම් කිසිවක්‌ සපයා නොතිබිණි.

මෙවැනි ජාත්‍යන්තර තරග ආවරණය සඳහා සුදුසු පහසුකම් ලබාදීම නීතියක්‌ වුවද මාධ්‍යයේ එසේ අවශ්‍යතා ඉටු නොකිරීම ලැඡ්ජා සහගත තත්ත්වයක්‌ බව රැස්‌වූ බහුතර මාධ්‍යවේදීන්ගේ අදහස විය.

තරගය ආරම්භ වී කොදෙව් ඉනිම අවසන් වන අවස්‌ථාව වන විට පෙනු තූඩු (ප්ලග් පොයින්ට්‌) දෙකක්‌ පමණක්‌ ලබා දුන් නමුත් එය තරගය ආවරණය කිරීම සඳහා පැමිණි මාධ්‍යවේදීන්ට මෙන්ම ලකුණු සටහන්කරුවන්ටද ප්‍රමාණවත් නොවීය.

මේ පිළිබඳව 'දිවයින' විසින් ලෝක කුසලාන අධ්‍යක්‍ෂ කාර්යාලයේ මාධ්‍ය අංශයට අනුයුක්‌ත නිලධාරියකුගෙන් කරුණු විමසන ලදුව, අන්තර්ජාල පහසුකම් නොදීමට පියවර ගනු ලැබුවේ ජගත් ක්‍රිකට්‌ කවුන්සිලය නියෝජනය කරමින් මෙරටට පැමිණ සිටින මාධ්‍ය මෙහෙයුම් කළමනාකරු වන සමී උල් හසන් මහතා ලබා දුන් උපදෙස්‌ අනුව බව පැවැසීය.

අන්තර්ජාල පහසුකම කෙසේ වෙතත් 'පෙනු තූඩු' (ප්ලග් පොයින්ට්‌) ලබා නොදීමටද පියවර ගනු ලැබුවේ ජගත් ක්‍රිකට්‌ කවුන්සිල මෙහෙයුම් කළමනාකරුගේ උපදෙස්‌ අනුවදැයි 'දිවයින' පෙරළා නගන ලද පැනයට පිළිතුරු දුන් එම බලධාරියා මෙම කටයුතු භාර ලෝක කුසලාන අධ්‍යක්‍ෂ කාර්යාල නිලධාරියා මේ සම්බන්ධව කිසිදු පාර්ශ්වයක්‌ දැනුවත් නොකිරීම එම අතපසුවීමට මුල් වූ බව සඳහන් කර සිටියේය. මෙම නිලධාරියා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතන මාධ්‍ය අංශයේද සම්බන්ධීකරණ නිලධාරීවරයා ලෙසද කටයුතු කළ පුද්ගලයෙකි.

සමී උල් හසන් මහතාගෙන්ද මේ පිළිබඳ 'දිවයින' කරුණු විමසන ලදුව ඉන්දියාව සමග පැවැත්වෙන තරගවලදී සියලූ පහසුකම් ලබාදීමට කටයුතු යොදා තිබෙන බව සඳහන් කර සිටියේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.