මාලබේ වෛද්‍ය විද්‍යාලයට එරෙහිව
දැවැන්ත විරෝධතාවක්‌ පවත්වනවා

- රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ මාධ්‍ය ප්‍රකාශක කියයි

ඒමන්ති මාරඹේ

මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වෛද්‍යවරුන් ඇතුළු වෘත්තීය හා සිවිල් ජන කොටස්‌වල සහායෙන් ඉදිරියේ දී දැවැන්ත විරෝධතාවක්‌ පවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නවීන් ද සොයිසා මහතා පැවසීය.

වෛද්‍යවරුන්, ශිෂ්‍යයන්, දෙමව්පියන් හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම උද්ඝෝෂණය පිළිබඳ මූලික සාකච්ඡා මෙම දිනවල පැවැත්වෙන බව ඔහු කීවේය.

රජයේම දෙපාර්ශ්වය විසින් මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳව පක්‍ෂ හා විපක්‌ෂව අදහස්‌ පළකිරීම නිසා එම වෛද්‍ය විද්‍යාලය පිළිබඳ රජයේ ස්‌ථාවරය පැහැදිලි නැතැයිද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් තවමත් මෙම වෛද්‍ය විද්‍යාලය වෛද්‍ය පීඨයක්‌ ලෙස අනුමත කර නොමැති බවත් එම විද්‍යාලය ගුණාත්මක බවින් තොරවීම නිසා සිසුන් බඳවා ගැනීම නතර කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පංච පුද්ගල කමිටුවක්‌ විසින් නිර්දේශ කර තිබියදී එම විද්‍යාලය දිගින් දිගටම මුදල් වංචා සහගත ලෙස එකතු කරමින් සිටින බව හෙතෙම සඳහන් කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ක්‍රියාකාරිත්වය හා නීත්‍යනුකූලභාවය පිළිබඳව පොතක්‌ එළිදැක්‌වීමට කටයුතු කරමින් සිටින බවද ඔහු කීවේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.