ප්‍රමාදවී පැමිණ රතු ඉර ගැසීම නිසා උරණ වූ හෙදිය
දිස්‌ත්‍රික්‌ වෛද්‍යවරයාගේ නිවසට පැන බිරිඳට පහර දෙයි


ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, හෙන්රි ප්‍රියශාන්ත - මොරටුව සහ එස්‌. පී. ආරියරත්න - රත්මලාන

ලුනාව දිස්‌ත්‍රික්‌ රෝහලේ දිස්‌ත්‍රික්‌ වෛද්‍ය නිලධාරියාගේ නිවසට පැන ඔහුගේ බිරිඳට පහරදී තුවාල සිදුකරන ලදැයි කියන සිද්ධියට සම්බන්ධ එම රෝහලේම සේවය කරන හෙදියක්‌ හා ඇගේ ස්‌වාමිපුරුෂයා මොරටුව මූලස්‌ථාන පොලිසිය මගින් 10 වැනිදා අත්අඩංගුවට ගනු ලැබ ඇත.

තුවාල ලැබූ ලුනාව දිස්‌ත්‍රික්‌ රෝහලේ දිස්‌ත්‍රික්‌ වෛද්‍ය නිලධාරියාගේ බිරිඳ මේ වනවිට දකුණු කොළඹ ශික්‌ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද පොලිසිය කියයි.

හෙදිය එම රෝහලේම සේවය කරන්නියක වන අතර, ඇය පුරුද්දක්‌ වශයෙන් ප්‍රමාද වී රාජකාරියට පැමිණ තිබේ. අලුත පැමිණ ඇති මෙම වෛද්‍යවරයා රෝහලේ පාලනය යථාවත් කිරීමට ගන්නා උත්සාහයක්‌ හැටියට කාර්ය මණ්‌ඩලයේ ලේඛනය බලා ප්‍රමාදවී පැමිණෙන අයට රතු ඉර ගසා තිබේ. ඒ අය අතරේ මෙම හෙදිය ද සිට ඇත.

රතු ඉර ගැසීම නිසා එයට උරුණ වූ හෙදිය පසුව මේ ගැන රාජ්‍ය ආයතනයක සේවය කරන සිය සැමියාට පවසා තිබේ. අනතුරුව එම හෙදිය හා ඇගේ සැමියා 09 වැනිදා රාත්‍රි දිස්‌ත්‍රික්‌ වෛද්‍යවරයාගේ නිවසට ගොස්‌ ඇත. එහිදී දිස්‌ත්‍රික්‌ වෛද්‍යවරයා නිවසේ සිට නොමැති අතර ඔහුගේ බිරිඳ පමණක්‌ සිට තිබේ. එහිදී මෙම හෙදිය හා ඇගේ සැමියා දිස්‌ත්‍රික්‌ වෛද්‍යවරයාගේ බිරිඳට පහරදී ඇතැයි පැවැසේ.

මේ පිළිබඳව මොරටුව මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක මේසිල් නූර්දීන් මහතාගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක කමල් බණ්‌ඩාර මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීහු කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.






 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.