දොස්‌තර වුණ කම්කරුවාට
අත්හිටුවූ සිර දඬුවම්

සුරංග දිල්හාන් - ගම්පොල

ගම්පොළ පෞද්ගලික රෝහලක කම්කරුවකු ලෙස සේවය කළ අයකු එයින් ඉවත් වී වෛද්‍ය මධ්‍යස්‌ථානයක්‌ පවත්වාගෙන යමින් වෛද්‍යවරයකු ලෙස රෝගීන්ට ප්‍රතිකාර කරමින් සිටිය දී ගම්පොළ කොට්‌ඨාස අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගෙන ගම්පොළ මහෙස්‌ත්‍රාත් වසන්ත කුමාර මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මොහුට වසර 2 ක සිරදඬුවමක්‌ ලබා දී එය වසර 5 කට අත් හිටුවීමට නියෝග කෙරිණි.

මෙයට අමතරව රුපියල් 1500 ක දඩයක්‌ද නියම කොට එය නොගෙවන්නේ නම් මාස 6ක සිර දඬුවමක්‌ නියම විය. මෙහි පැමිණිලිකාරිය වන ආරුමුගම් කාන්ති නමැත්තියට රුපියල් දස දහසක මුදලක්‌ ගෙවන ලෙසද නියෝග කෙරිණි.

මෙසේ වරදකරු වූයේ කඳපොල කොක්‌කෝඩ් වත්ත පදිංචි පරම සිවම් සෞන්දරරාජන් නමැති අයෙකි.

මොහු ගම්පොළ පෞද්ගලික රෝහලක කම්කරුවකු ලෙස සේවය කරමින් වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාරවලටද උදව් දී තිබේ.

එම අත්දැකීම් උපයෝගි කරගනිමින් මොහු ගම්පොළ නුවරඑළිය මාර්ගයේ ස්‌ථානයක්‌ කුලියට ගෙන එහි වෛද්‍ය මධ්‍යස්‌ථානයක්‌ පවත්වාගෙන ගොස්‌ ඇත්තේ වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින්ය.

මොහුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට වැඩි වශයෙන් පැමිණ ඇත්තේ වතුකර පිරිස්‌ය. එමෙන්ම සමහර රෝගීන් හට ප්‍රතිකාර කිරීම සඳහා එම වතු නිවාස වලටද ගොස්‌ ඇති මොහු එහිදී අසාධ්‍ය රෝගීන්ට සේලයින් දීම, බට මගින් ආහාර දීම, මුත්‍රා බට දැමීම පමණක්‌ නොව බරපතළ ප්‍රතිකාර ක්‍රමද ලබා දී ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ.

මේ සඳහා ඔහු ඉහළ මුදලක්‌ අයකරගෙන ඇති අතර මෙම ප්‍රතිකාර ක්‍රම සඳහා අවශ්‍ය උපාංගද ලබා ගෙන ඇත්තේ එම පෞද්ගලික රෝහලෙන් ඉවත් කරන දෑ ප්‍රයෝජනයට ගෙනය.

මොහු සම්බන්ධයෙන් ගම්පොළ පුස්‌සැල්ලාව බ්ලැක්‌රෝස්‌ වත්ත පදිංචිකාරියක විසින් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබිණි.

ගම්පොළ කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී රොෂාන් ප්‍රනාන්දු, සහකාර පොලිස්‌ අධිකාරී (අපරාධ හා මෙහෙයුම්) නිමල් ධර්මප්‍රිය, සහකාර පොලිස්‌ අධිකාරී චූලනී වීරරත්න යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත, කොට්‌ඨාස අපරාධ අංශයේ ස්‌ථානාධිපති පො. ප. ඩබ්ලිව්. එච්. වෝල්ටර්, පොලිස්‌ කොස්‌තාපල් 21401 හීන්බණ්‌ඩා, පොලිස්‌ කොස්‌තාපල් 21580 අමිල, පො. කො. 39266 සමන්, පො. කො. 51183 ප්‍රසන්න යන නිලධාරීහු පරීක්‍ෂණ මෙහෙයවූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.