යුක්‌තියට නින්ද යැම
(ඒත් දරුවෙක්‌ - මේත් දරුවෙක්‌)

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්‌ඩලයේ කැඳවුම්කරු වූ සංජීව බණ්‌ඩාර පෙරේදා (20) රිමාන්ඩ් කරන ලදී. පොලිසියට ගල් ගසා රුපියල් 20,000 ක අලාභයක්‌ කිරීමේ සිට විරෝධතා ව්‍යාපාර සංවිධානය කිරීම දක්‌වා වැරැදි සමූහයක්‌ ඔහු විසින් කරනු ලැබ ඇතැයි අජිත් රෝහණ (පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක) නොවන වෙනත් රෝහණ කෙනෙක්‌ අපට පැවැසී ය. සංජීව බණ්‌ඩාර යනු හොරෙක්‌ හෝ මංකොල්ලකාරයෙක්‌ හෝ ප්‍රාදේශීය සභා සභාපතියකුව සිට බාල වයස්‌කාර දැරියක්‌ දූෂණය කළ කාලකණ්‌ණියකු නොව ශිෂ්‍ය සටන්කරුවෙකි. ශිෂ්‍ය සටන්කරුවා යනු කවරෙක්‌ ද? කරාටේ ශිල්පියෙක්‌ද? ගුස්‌ති කාරයෙක්‌ ද? ජු - ජුට්‌සු හෝ ජිට්‌ - කොන්ඩෝ වැනි ආත්මාරක්‍ෂක ක්‍රීඩාවල නිරතවන ශිෂ්‍යයෙක්‌ ද? නැත. මේ රටේ ශිෂ්‍යයන්ගේ අයිතිවාසිකම් පරිහානියට පත් වෙමින් පවතින බව (එස්‌. බී. දිසානායක සහ බන්දුල ගුණවර්ධන විශ්වාස නො කළාට) සංජීව බණ්‌ඩාර විශ්වාස කරයි. ඒ නිසා ඔහු එයට විරුද්ධව සටන් වදින ශිෂ්‍ය කණ්‌ඩායම් සමඟ එක්‌ව එම ශිෂ්‍ය කණ්‌ඩායම් ජනතා විමුක්‌ති පෙරමුණේ සහ එක්‌සත් ජාතික පක්‍ෂයේ අතකොළු වුව ද, නො වුව ද සටන් කළේ ය. මේ සටනේ එක්‌ අවස්‌ථාවක්‌ වන්නේ රජයේ මෝඩ ප්‍රතිපත්තිය අනුව සංජීව බණ්‌ඩාර ජාතික වීරයකු කරනු පිණිස ඔහු රිමාන්ඩ් කිරීමය. ඔහු රිමාන්ඩ් කිරීමට ගෙන යන ලද්දේ කුඩුකාරයන් හෝ ගෙවල් බිඳින්නකු ගෙන යන ආකාරයට මාංචුවකින් තවත් සැකකරුවකුට ඈඳමිනි. ඔහු එසේ ගෙන යන ඡායාරූපය පුවත්පත්වල පළ විය. සංජීව බණ්‌ඩාරගේ පියා ඇමැති කෙනකු හෝ ලොකු මුදලාලි කෙනකුගේ දරුවකු නම් මෙසේ මාංචු වැටෙන්නේ නැත. සමහර විට ඔහු රිමාන්ඩ් නො කිරීමට ද ඉඩ ඇති අතර රිමාන්ඩ් කරනු ලැබීමක්‌ ගැන ඉව වැටුණේ නම් දක්‍ෂ නීතිඥයකු යොදවා "අපේක්‍ෂිත ඇප" ලබා ගැනීමට ඉඩ තිබිණි. අපේක්‍ෂිත ඇපයක්‌ ලබා ගත් විට සැකකරු කෙළින්ම අධිකරණයට ඉදිරිපත් වන අතර ඇපය ස්‌වයංක්‍රීයවම ක්‍රියාත්මක වන්නේය.

ශ්‍රී ලංකාව යනු සමාජ දෙකක්‌, ආර්ථික ක්‍රම දෙකක්‌ මෙන්ම නීති ද දෙකක්‌ ක්‍රියාත්මක වන රටකි. විශේෂයෙන්ම දේශපාලනඥයන්ට සහ ඔහුගේ දරුවන්ට ක්‍රියාත්මක කරන නීතිය ඉතා සරල, ඉතා නිදහස්‌, ඉතා සුවපහසු නීතියකි. මෙබඳු දරුවකු 'ඇතුළට' (රිමාන්ඩ් හිරගෙට) ගියත් ගල් පල්ලිය හෙවත් ලොකු හිර ගෙදරට ගියත් ලැබෙන සත්කාරය ඉහළ ය. හිරගෙදර ගත කරන පැය 48 ක කාලයෙන් පසු ඔහුට වැළඳෙන නපුරු පපුවේ අමාරුවක්‌ නිසා ඔහු බන්ධනාගාර රෝහලට යවනු ලබන්නේ ය. එයත් මදි නම් ඔහුව කොළඹ මහ රෝහලේ මුදල් ගෙවන කාමරයකට හෝ පෞද්ගලික රෝහලකට මාරු කරනු ලැබේ. මේ කාමරය ඉදිරිපිට රාළහාමිලා දෙදෙනකු 'ඩියුටි' කරන බව ඇත්ත. ඒ සිරකරු පැන යැම වැළැක්‌වීම සඳහා ය. එහෙත් මේ සිරකරු මළාට පැන යන්නේ නැත. ඔහු එතැනින් එළියට යන්නේ රාළහාමිලාටත් සැපක්‌ ගැනීම සඳහා ගනුදෙනුවක්‌ මිට මොළවා තමාටත් සැපක්‌ ගෙන ආපසු පැමිණීමේ පොරොන්දුව පිටය. නිසි වේලාවට සිරකරු ආපසු නාවොත් සිරකරු මේ දැන් පැන ගිය බව කීමට රාළහාමිලාට පුළුවන. ඔහු පැන යන විට වෙඩි නොතබන ලද්දේ මන්ද යන ප්‍රශ්නය නඟන විට වෙඩි තබන ලද නමුත් වෙඩි නොවැදුණු බව ඔප්පු කිරීමට හිස්‌ පතරොම් කොපු දෙකක්‌ ද ඉදිරිපත් කිරීමට රාළහාමිලාට පුළුවන.

සමාජ දෙකක්‌, නීති දෙකක්‌ පවතින විට යුක්‌තිය ආත භූත වෙයි. තමා යා යුත්තේ කවර ඉමක්‌ කරාද යන්න සිතා ගැනීමට යුක්‌තියට හැකි නොවෙයි. අන්තිමට යුක්‌තිය රස්‌තියාදු වී ලයිට්‌ කණුවල හැපෙමින් සහ කාණුවල වැටෙමින් ගොස්‌ නීතිපති දෙපාර්තමේන්තුවේ කසිකබල් පුටුවක්‌ මතට වී කල්පනා කරන්නට පටන් ගනී. මේ අතර යුක්‌තියට නින්ද යයි. යුක්‌තිය ඇහැරවීමට කා තුළවත් අවශ්‍යතාවක්‌ නැත.

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.