වයිකෝ පසුපස සිටින මෙරට ඒජන්තලා

ත්‍රස්‌තවාදයේ ආධාරකරුවෝ දැන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන හඬ නගති.එම්. ඩී. එම්. කේ. පක්‍ෂයේ නායක වයිකෝ එවැන්නෙකි. මේ ත්‍රස්‌තවාදයේ ආධාරකරුවා පෙරේදා ඊලම්වාදීහු 1000 ක්‌ රැගෙන සාංචි ප්‍රදේශයට ඇතුළුවීමට දැරූ උත්සාහයට ඉන්දීය අපරාධ නීති සංග්‍රහයේ අංක 144 හරස්‌ විය. වගන්තිය තමිල්නාඩුවේ චෙන්නායි සිට බස්‌රථ 41 කින් මධ්‍ය ප්‍රදේශය වෙත පැමිණි වයිකෝට පොලිසිය යන්නට දුන්නේ නැත.

එහිදී මහමග බිම වාඩි වූ වයිකෝ රැස්‌ව සිටි පිරිස අමතා මෙලෙස කියා සිටියේය.

රාජපක්‍ෂ ආණ්‌ඩුව උතුරේ හින්දු කෝවිල් 200 ක්‌ විනාශ කලා අඩනිරුවතින් සිටි දෑත බැඳ තිබූ ද්‍රවිඩ දරුවන්ව මරා දැම්මා.

මෙලෙස සාංචි යැමට පැමිණි වයිකෝව මධ්‍ය ප්‍රදේශ මහ ඇමැති ෂිව්රාජ් සිංගේ නියෝජිතයකු විසින් මල්කලඹක්‌ දී පිළිගෙන තිබේ.

වයිකෝ සාංචි වෙත යැම සඳහා චෙන්නායි සිට ත්‍රිරෝද රථ 26 ක්‌ද ගෙනවිත් තිබූ බව වාර්තා විය.

මෙහිදී මධ්‍ය ප්‍රදේශය භාර පොලිස්‌ බලධාරී මධුකුමාර් පැවසූවේ වයිකෝ ඇතුළු පිරිස දේශසීමා උල්ලංඝණය කළහොත් අත්අඩංගුවට ගන්නා බවයි. එහිදී ඊලම දිනේවා යනුවෙන් වයිකෝගේ ආධාරකරුවෝ ඝෝෂා කළහ.

කොටි ත්‍රස්‌තවාදයට ආධාර කිරීම ගැන හිරේ සිටිය යුතු වයිකෝ සාංචි ප්‍රදේශයට පැමිණීමට උත්සාහ කළේ ශ්‍රී ලංකා ජනාධිපතිට එරෙහිව විරෝධතා දැක්‌වීමය.

වයිකෝගේ පිරිස මෙලෙස මධ්‍ය ප්‍රදේශය දේශසීමාව අසල රැඟුම් දක්‌වද්දී තිරුචි ප්‍රදේශයේ ඊලම්වාදිහු දුම්රිය මාර්ගය අවහිර කරමින් විරෝධතාවයන් දක්‌වනු ලැබීය.

මෙහිදී වයිකෝ පැවසූවේ මධ්‍ය ප්‍රදේශ මහ ඇමැතිවරයා තමාව රැවටූ බවයි. ඔහු ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට සාංචි ඒමට ඉඩ දුන්නා. අපේ ඉල්ලීම පිළිගත්තේ නැහැ යයි වයිකෝ තව දුරටත් පල කළේය.

වයිකෝලා මේ නටන නාඩගමට මූලික හේතුව බලවත් යෑයි පැවසූ ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි සංවිධානය පැරදීමයි. කොටින්ට සිදුවුයේ කුමක්‌දැයි වයිකෝ ඇතුළු ඊලම්වාදීන්ට තවමත් තේරුම් ගත නොහැකි වී තිබේ.

මේ පසුබිම යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගිනි ඇවිලවීමට වයිකෝට අමතක වී ඇත. ඒ සඳහා වයිකෝ විවිධ උපක්‍රම දියත් කරන අතර ඊට සහය වන්නේ මෙරට සිටින කොටි හිතවාදීන්ය. මෙලෙස ශ්‍රී ලංකා ජනාධිපතිට එරෙහි වයිකෝ විරෝධය දක්‌වද්දී තමිල්නාඩුවේ ව්‍යාපාරික කණ්‌ඩායමක්‌ මෙරටට පැමිණීමට නියමිතය.

එහෙත් ඒ සඳහා විරෝධතාවයක්‌ එල්ල වී නැත. වයිකෝලාගේ මේ විරෝධතාවය පිළිබඳව විමර්ශනය කරන විට සනාථ වන්නේ ඔවුන්ට සාවද්‍ය තොරතුරු සැපයෙන්නේ මේරට සිට බවයි.

කොටි ත්‍රස්‌තවාදය විනාශ වූවත් කොටි වයිකෝලා තොග පිටින් උතුරේ හා කොළඹද සිටී. ඔවුහු තමිල්නාඩුව ලවා විවිධ මෙහෙයුම් දියත් කරන බව පැහැදිලිය. ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයන්ව සමූල ඝාතනය වී ඇති බවට චෝදනා නගන වයිකෝ ඉන්දීය සාම හමුදාව වසර කීපයකට පෙර ශ්‍රී ලංකාවේ උතුරේදී ද්‍රවිඩයන් ඝාතනය කිරීම ගැන ප්‍රශ්න නොකරන්නේ මන්ද? මෙය පුදුමයක්‌ නොවේ මෑතකදී මෙරටට පැමිණි එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් ත්‍රීපුද්ගල කණ්‌ඩායම අමතමින් ද්‍රවිඩ සංවිධානය පවසා ඇත්තේ වත්මන් රජය උතුරේ ආගමික හා සංස්‌කෘතික ස්‌ථානවලට ද්‍රවිඩයන්ට ඉඩ නොදෙන බවයි. මෙය මුළුමනින්ම සාවද්‍ය ප්‍රකාශයක්‌ නොවෙද? එසේම එම ත්‍රීපුද්ගල කණ්‌ඩායමට යාපනයේ ශ්‍රී ලංකාවේ කොටසක්‌ නොවන බවට පෙන්නුම් කිරීමට සිවිල් සංවිධානය උත්සාහ දරා ඇත. නැගෙනහිර පලාත් සභාව සිය පාලනයට ගෙන බෙදුම්වාදී පිළිවෙත පවත්වාගෙන යැමට ද්‍රවිඩ සංධානය දැරූ උත්සාහය පරාජය විය. මේ නිසා ද්‍රවිඩ සංවිධානයට සිය අරමුණු ඉටු කර ගැනීමට නොහැකි වී ඇත. වන්නි මෙහෙයුම නිම වී වසර තුනක්‌ ගත වී ඇතත් තවමත් කොටි ක්‍රියාකාර කම් නතර වී නැත. මේ සතියේ දිනක හින්දු පුවත් පතට ලිපියක්‌ ලියූ නිරූපමා සුබ්‍රමනියම් නැමැත්තිය උතුරු නැගෙනහිර හමුදා කඳවුරු හා සෙබලුන් කොතරම් සංඛ්‍යාවක්‌ සිටින්නේද යෑයි නිරීක්‍ෂණය කර ඇත. ඇය තවදුරටත් පවසා ඇත්තේ සෙබලුන් අසූ හයදහසක්‌ එකී ප්‍රදේශ වල සිටින බවයි. එහෙත් සත්‍යය තත්ත්වය නම් උතුරේ ඇත්තේ 15000 නොඅඩු භට පිරිසකි.

එසේම උතුරු නැගෙනහිර හමුදා කඳවුරු තිබීම සහජීවන ක්‍රියාමාර්ගයට හානියක්‌ යෑයි ඇය කියා සිටී. එහෙත් කාෂ්මීරයේ හා ඇසෑමයේ හමුදා කඳවුරු තිබීම එම ප්‍රාන්ත ජනතාවගේ සහජීවනයට බාධාවක්‌ යෑයි ඇය පවසා නැත. එසේ වූවත් ඉලක්‌කය පැහැදිලිය.

වයිකෝලාටත් උතුරු නැගෙනහිර සිටින කොටි ඒජන්තවරුන්ටත් අවශ්‍යය වී ඇත්තේ උතුරු නැගෙනහිර හමුදා කඳවුරු ඉවත් කර ගැනීමයි. එහි අරමුණ බෙදුම්වාදයට යලි පණදීමයි. මේ උපක්‍රමයට රජය ගොදුරු නොවන බව පැහැදිලිය. ඇමරිකාවේ සිට කොළඹට පැමිණි රොබට්‌ බ්ලේක්‌ටත් ඇති රුදාව උතුරු නැගෙනහිර හමුදා කදවුරුයි. එහෙත් ඇෆ්ගනිස්‌ථානයේ ඇමරිකානු හමුදා කඳවුරු තිබීම ගැන බ්ලේක්‌ කිසිදු ප්‍රකාශයක්‌ කර නැත. කොටි බලවත්ව සිටියදී උතුරේත් කොළඹ කොටි හිතවාදීනුත් වැජඹුනේ මහත් උජාරුවෙනි. ඇතැම් කොටි හිතවාදී මාධ්‍ය පාර්ශවයන් ඇවිද්දේද ප්‍රභාකරන් මෙනි. එහෙත් 2009 මැයි 19 වැනිදා මේ පිරිස බිම ඇද වැටුණි. එසේ වූවත් යළිත් ඔවුහු අළු ගසා දමා නැගිට ඇත. වයිකෝලාගේ උද්ඝෝෂණය එහි ප්‍රතිඵලයකි. වන්නි මෙහෙයුම සමයේ වයිකෝලා පැවසූවේ තමිල්නාඩුවේ ඊලම් වාදීන් රැගෙන වන්නියට අවුත් ශ්‍රී ලංකා හමුදාව පරදවා එම ප්‍රදේශය ඊලම් රාජ්‍ය බවට පත් කර ගන්නා බවයි. එහෙත් ඔවුන්ට එවැන්නක්‌ කිරීමට අවකාශ ලැබුණේ නැත. ප්‍රභාකරන්ගේ පෙම්වතිය වූ ඇනිටා ප්‍රතාප්ද පැවසූවේ තමා ඊලගට ශ්‍රී ලංකාවට එන්නේ ප්‍රභාකරන්ගේ ජීවිත කතාව ලිවීමට බවයි. ඇනිටාගේ බලාපොරොත්තු ඉටු වුයේ නැත මේ නිසා සැබෑ යථාර්ථය තේරුම් ගත යුතුව තිබේ. ප්‍රභාකරන්ගේ මෙරට ඉතිරිව සිටින සගයන් දැන් දියත් කර ඇත්තේ අභිරහස්‌ මෙහෙයුමකි.

එක්‌සත් ජාතීන්ගේ ත්‍රී පුද්ගල කණ්‌ඩායම පැමිණීමෙන් පසු පුදුකුඩුඉරුප්පු සහ ආනන්දන්කුලම් ප්‍රදේශයේ මිනී ඇට කටු දහස්‌ ගණනක්‌ මතු වී ඇති බවට කොටි ආධාර කරුවෝ ප්‍රචාරය කළේ මේ මෙහෙයුමත් සමගය. කොටින්ගේ තමිල් නෙට්‌ වෙබ් අඩවිය එම සාවද්‍ය ප්‍රචාරය ලොව පුරා විකාශනය කළේය. ආනන්දම්කුලම් ද්‍රවිඩ පාසල සමීපයේ ඝාතනයට ලක්‌ වූ ද්‍රවිඩයන් විශාල පිරිසකගේ ඇට කටු දකින්නට ලැබෙන බවද ඔවුහු තවදුරටත් කියා සිටිහ. සතුරන් තවමත් මෙරට සිට ක්‍රියාත්මක බව රජය තේරුම්ගත යුතුව තිබේ. දැනටමත් රාජ්‍ය නොවන සංවිධාන 32 එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට වාර්තාවක්‌ යවා ඇත්තේ එවන් පසුබිමක්‌ යටතේය මේ සතුරන්ට විදේශ අරමුදල් විශාල වශයෙන් ගලා එයි. ඔවුහු මාස ගණනකට පෙර අරාබි වසන්තයක්‌ මෙරට ඇති වනු ඇතැයි දැඩි ලෙස අපේක්‍ෂා කළහ. එවැනි පෙරහුරු විවිධ ස්‌ථානවලදී ක්‍රියාත්මක විය. ද්‍රවිඩ සංධානයත් එවැනි අරාබි වසන්තයක්‌ බලාපොරොත්තු විය. එම අරමුණු ඉටු නොවීම නිසා සියබෙදුම් වාදී පිළිවෙත දිගින් දිගටම ගෙන යන බව සනාථ වේ. වයිකෝලා ලෙඩුමාරන්ලා තොල් තිරුමාවන්ලා යනු එම ක්‍රියාදාමයේ තමිල්නාඩු ඉත්තන් වේ.

කීර්ති වර්ණකුලසූරිය
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.