මාලකට ඇප : මේජර්ට නඩු?

වසර 16 ක්‌ ක්‍රියාන්විතයේ සිටි කෙනාට
කම්පනයක්‌ ඇතිවුණේ කෙසේද?

- මහෙස්‌ත්‍රාත්

ක්‍රියාන්විතයේ දී මෙවැනි කම්පනයක්‌ ඇති වී නෑ
- මේජර්

මාධ්‍යයට ආවරණය වෙමින් මේජර් පැමිණෙයි

කමල් බෝගොඩ

කොළඹ ජැයික්‌ හිල්ටන් හෝටලයේදී යුද හමුදා බුද්ධි අංශයේ මේජර් ප්‍රදීප් වසන්ත සූරසේන මහතාට පහර දී තුවාල සිදු කරන ලදැයි කියන සිද්ධියට අදාළව ලබන 24 දා තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි මහජන සම්බන්ධතා ඇමැති ආචාර්ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා සහ හිටපු ඇමැති මනෝ විඡේරත්න මහතාගේ ඥති පුත් රෙහාන් විඡේරත්න යන සැකකරුවෝ දෙදෙනා කොටුව මහෙස්‌ත්‍රාත් කණිෂ්ක විඡේරත්න මහතා විසින් ඊයේ (21 දා) දැඩි කොන්දේසි සහිතව ඇප මත මුදාහරිනු ලැබූහ.

ඇමැති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා ඇප මත මුදා හැරීමෙන් අනතුරුව අධිකරණ යෙන් නික්‌ම ගිය අයුරු හා පහ රකෑමට ලක්‌වූ මේජර් ප්‍රදීප් වසන්ත සූරසේන මහතා හිස්‌ වැසුමකින් මුහුණ ආවරණය කරගනිමින් අධිකරණයෙන් පිටතට ගිය අයුරුත් ඇමැති මර්වින් සිල්වා මහතා නඩු විභාගය දැක බලා ගැනීමට සිය හිතවතුන් සමඟ අධිකරණයට පැමිණි අයුරුත් ඡායාරූපවලින් දැක්‌වෙයි. ඡායා  - කමල් බෝගොඩ

සැකකරුවන් දෙදෙනා රුපියල් පනස්‌දහස බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්‍ෂ දහයක්‌ වටිනා ශරීර ඇප දෙකකට යටත් කොට මුදාහරින ලෙසට නියෝග කළ මහෙස්‌ත්‍රාත්වරයා සෑම ඉරු දිනකම දහවල් 9 ත් 12 ත් අතර කොම්පඤ්ඤවීදිය පොලිසිය හමුවේ පෙනී සිට වාර්තා කරන ලෙසට ඔවුන්ට ඇප කොන්දේසි පනවනු ලැබුවේය.

සිද්ධියෙන් පහර කෑමට ලක්‌වූ මේජර්වරයා නීතිඥයකු මගින් දිවුරුම් ප්‍රකාශයක්‌ ඉදිරිපත් කරමින් සැකකාර ඇමැති පුතුන් දෙදෙනා තමන්ට පහර දීමක්‌ සිදු නොකළ බවට අධිකරණය වෙත කළ දැනුම්දීමක්‌ අනුව මෙම නඩුව ඊයේ (21 දා) කැඳවන ලෙසට මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කර තිබිණි.

ඒ අනුව ඊයේ (21 දා) සැකකරුවන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර පහරකෑමට ලක්‌ වූ මේජර්වරයා ද අධිකරණයේ කැඳවීම මත පෞද්ගලිකව අධිකරණය හමුවේ පෙනී සිටියේය.

නඩු විභාගය ආරම්භයේදීම මේජර්වරයාගෙන් මහෙස්‌ත්‍රාත්වරයා ප්‍රශ්න කර සිටියේ අදාළ දිවුරුම් ප්‍රකාශය තමන් විසින්ම ඉදිරිපත් කරන ලද්දක්‌දැයි යනුවෙනි. එහිදී මේජර්වරයා එම දිවුරුම් ප්‍රකාශය තමාගේ අනුදැනුම මත ඉදිරිපත් කරන ලද්දක්‌ බවට පිළිගත් අතර එම දිවුරුම් ප්‍රකාශය සඳහා කිසියම් බලපෑමක්‌ සිදුවූවාදැයි මහෙස්‌ත්‍රාත්වරයා නැවත විමසා සිටි අතර මේජර්වරයා කියා සිටියේ එවැනි බලපෑමක්‌ සිදු නොවූ බවයි.

මහෙස්‌ත්‍රාත්වරයා - මෙම පහරදීම සම්බන්ධයෙන් තමන් කුමන පොලිස්‌ ස්‌ථානවලට ද ප්‍රකාශ ලබා දුන්නේ.

මේජර්වරයා - පළමුව රෝහල් පොලිසියටත් අනතුරුව කොම්පඤ්ඤවීදිය පොලිසියටත් ප්‍රකාශ ලබාදුන්නා.

මහෙස්‌ත්‍රාත්වරයා - පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ "බී" වාර්තාවත්, ඔබේ දිවුරුම් ප්‍රකාශයත් වෙනස්‌ වීමට හේතු මොනවාද?

මේජර්වරයා - පහරකෑම හේතුවෙන් මා ඒ අවස්‌ථාවේදී විශාල කම්පනයකට පත්ව සිටියා. ඒ නිසා මා දුටුවේ නැහැ පහර දුන් අය කවුද කියා. මාව රෝහලට ගෙන ගිය අය තමයි මට කිව්වේ මාලක සහ රෙහාන් මට පහර දුන් බව. ඒ මතයි මම පැමිණිල්ල කළේ.

මහෙස්‌ත්‍රාත්වරයා - වසර 16 ක්‌ සන්නද්ධ ක්‍රියාන්විතයේ සිටි ඔබ මෙම සිද්ධියෙන් කම්පනයට පත්වුණේ ඇයි?

මේජර්වරයා - ඒ අවස්‌ථාවේදී මට අධික ලේ වහනයක්‌ සිදුවුණා. ක්‍රියාන්විතයේදී මා මෙවැනි කම්පනයකට ලක්‌වී නැහැ.

මහෙස්‌ත්‍රාත්වරයා - ඇයි ඔබ අදාළ දිනයේ එම හෝටලයට ගියේ?

මේජර්වරයා - මත්ද්‍රව්‍ය හා පාතාලය සම්බන්ධ වැටලීම් තමයි මට පැවරී ඇති රාජකාරි. තොරතුරක්‌ ලැබුණා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු එම හෝටලයේ සිටින බවට. ඒ අනුවයි එහි ගියේ.

මහෙස්‌ත්‍රාත්වරයා - පිටවීමේ සටහන් යොදලාද ඔබ එහි ගියේ?

මේජර්වරයා - අදාළ නිලධාරීන් දැනුවත් කරලයි ගියේ.

මහෙස්‌ත්‍රාත්වරයා - තමා අධිකරණයේ කාලය නාස්‌ති නොකර මෙම ප්‍රකාශය මුලින්ම කරන්න තිබුණ නේ. එහෙම නම් විත්තිකරුවන් රිමාන්ඩ් කිරීමට අවශ්‍ය වන්නේත් නැහැනේ.

විත්තියේ නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා - පහරදීම සිදුකර තිබෙන්නේ වෙනත් අය නිසා මෙම නඩුව සමථයකට පත්කරගැනීමේ හැකියාව තිබෙනවා.

මහෙස්‌ත්‍රාත්වරයා - අද තිබෙන කරුණු අනුව මෙම නඩුව සමථයකට පත්කිරීමට මට බලයක්‌ නැහැ. හෝටලයේ කැමරා පද්ධතියේ මෙම ගැටුම පටිගත වී ඇත්නම් ඒවා පරීක්‍ෂා කළ යුතුයි.

විත්තියේ නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා - අද මෙම නඩුව අවසන් කරලා කොල්ලකෑමේ චෝදනාවට වෙනම නඩුවක්‌ පැවරීමට හැකියාව තිබෙනවා.

මේජර්වරයාගේ සාක්‍ෂි සහ දිවුරුම් ප්‍රකාශය සලකා බලා ඔහු විසින් අසත්‍ය චෝදනා ඉදිරිපත් කිරීම පිළිබඳව වාර්තාවක්‌ කැඳවන ලෙසත් ඒ අනුව බොරු සාක්‍ෂි දීම සම්බන්ධයෙන් මේජර්වරයාට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන්නේදැයි අධිකරණයට වාර්තා කරන ලෙසත් මෙහිදී මහෙස්‌ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.

ඇප පනත යටතේ සැකකරුවන් දෙදෙනා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට අවශ්‍යතාවක්‌ නැති බැවින් සැකකරුවන් දෙදෙනාට එක්‌ අයකුට රුපියල් ලක්‍ෂ දහය බැගින් වන ශරීර ඇප දෙකක්‌ සහ රුපියල් පනස්‌ දහසක මුදල් ඇපයක්‌ මත මුදාහරින ලෙස නියෝග කළේය. ශරීර ඇප දෙකෙන් එක්‌ අයකු සැකකරුවකුගේ ළඟම ඥතියකු විය යුතු බව ද නියම කළ මහෙස්‌ත්‍රාත්වරයා නැවත මෙවැනි චෝදනාවකට අත්අඩංගුවට පත්වුවහොත් එය ඇප ලබා නොදීමට හේතුවක්‌ බවට ද අවවාද කළේය.

නඩු විභාගය මෙම 24 දිනට කල් තැබුණු අතර සෙසු සැකකරුවෝ සිව්දෙනා එතෙක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබූහ.

මෙම නඩු විභාගය දැක බලා ගැනීමට ඇමැති මර්වින් සිල්වා මහතා සහ ඔහුගේ පවුලේ ඥතීන් ද, ආධාරකරුවන් විශාල පිරිසක්‌ ද අධිකරණයට පැමිණ සිටි අතර පහරකෑමට ලක්‌වූ මේජර් ප්‍රදීප් වසන්ත සූරසේන නමැති අය දැඩි රැකවල් මධ්‍යයේ අධිකරණයට පැමිණ සිටියේය.



 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.