කොක්‌ගල්ලේ ජනයා සහ පොලිසිය ගැටෙති

හේමන්ත රන්දුණු

පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ සහ අම්බලන්තොට උතුරු කඩවර කොක්‌ගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්‌ අතර පෙරේදා (20 වැනිදා) සවස ඇති වූ ගැටුමකින් පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු ඇතුළු තිදෙනෙක්‌ තුවාල ලබා හම්බන්තොට රෝහලට ඇතුළත් කරනු ලැබූහ.

පහරදීමට සම්බන්ධ පුද්ගලයන් පිරිසක්‌ අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්තොට පොලිසියේ නිලධාරීන් පිරිසක්‌ උතුරු කඩවර ප්‍රදේශයට ගිය අවස්‌ථාවේ මෙම ගැටුම ඇති වී තිබිණි.

ගැටුමට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගත් පොලිස්‌ නිලධාරීන් ඔහු රැගෙන ඒමට උත්සාහ කළ අවස්‌ථාවේ එහි කඩාවැදුණු පිරිසක්‌ පොලිස්‌ නිලධාරීන්ට අමානුෂික ලෙස පහර දී සැකකරු මුදාගෙන ඇති බව පොලිසිය කියයි.

ඒ අවස්‌ථාවේ සිය ආරක්‍ෂාව සඳහා පොලිස්‌ නිලධාරියකු වෙඩි තබා ඇති අතර එහිදී එක්‌ පුද්ගලයකු තුවාල ලබා තිබේ.

ප්‍රදේශවාසීන්ගේ පහරකෑමට ලක්‌ වූ කොස්‌තාපල්වරයකු සහ සහායකයකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් අතර තවත් පිරිසක්‌ අත්අඩංගුවට ගැනීමට නියමිතය.

දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් ජයසිංහ මහතාගේ උපදෙස්‌ මත අම්බලන්තොට පොලිසිය පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.