වනජීවී නිලධාරීන්ට පහර දීමේ සිද්ධියත
වන්නිලඇත්තන් ඇතුළු ආදිවාසීන්ට ඇප


සොරණාතොට - ජනක විඡේනායක, මහියංගනය අතිරේක - රංජිත් කරුණාධීර, කරුණාරත්න පල්ලේගම - බණ්‌ඩාරවෙල

මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන් තිදෙනකුට පහරදීම සම්බන්ධයෙන් නීතිඥයකු මාර්ගයෙන් අධිකරණය ඉදිරියේ ඊයේ (21 දා) පෙනී සිටි දඹාන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ සහ ඔහුගේ පුතුන් දෙදෙනකුට හා බෑණාට රුපියල් ලක්‍ෂයක්‌ බැගින් පුද්ගල ඇප මත හා රු. 7500 බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙස මහියංගන වැඩබලන මහෙස්‌ත්‍රාත් නියම කළේය.

ලබන ඔක්‌තෝබර් මස 11 දා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද සැකකරුවන්ට නියම කෙරිණි.

පසුගිය 14 දා මාදුරුඔය ජාතික වන උද්‍යානයේදී බලපත්‍ර රහිත ගිනිඅවියක්‌ හා ගෝන මස්‌ සමඟ වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් ඌරුවරිගේ පුංචිබණ්‌ඩා හෙවත් අතදැරි කිරියා නමැත්තා වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු වනජීවී කාර්යාලයට කඩා වැදුණු ආදිවාසී නායකයා ඇතුළු පහළොස්‌දෙනකුගෙන් සමන්විත ආදිවාසීන් කණ්‌ඩායමක්‌ එම අවස්‌ථාවේ වනජීවී කාර්යාලයේ සේවය කරමින් සිටි නිලධාරීන් තිදෙනකුට පහර දී වනජීවී අත්අඩංගුව භාරයේ සිටි සැකකරු ගිනි අවිය සහ මස්‌ රැගෙන ගොස්‌ තිබිණි.

පසුව මේ පිළිබඳව ඌව පළාත භාර නියෝජ්‍ය පොලිස්‌පති විලී අබේනායක මහතා වෙත කරන ලද පැමිණිල්ලක්‌ අනුව මහියංගණ පොලිස්‌ ස්‌ථානාධිපති සිසිර වික්‍රමසිංහ මහතා විසින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මහියංගන මහෙස්‌ත්‍රාත්වරයා වෙත ඉල්ලීමක්‌ ඉදිරිපත් කර තිබේ.

මෙම ඉල්ලීම සලකා බැලූ මහියංගන වැඩබලන මහෙස්‌ත්‍රාත් එස්‌. ගෝවින්ද මහතා අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සැකකරුවන්ට නියෝග කොට තිබිණි.

ආදිවාසීන් විසින් පහරදීමෙන් තුවාල ලබා රෝහල්ගතව සිටියේ කේ. ඩී. ජානක, කේ. ජී. නානායක්‌කාර හා එච්. එම්. වසන්ත කුමාර යන වනජීවී නිලධාරීන් තිදෙනාය.

නීති විරෝධී ලෙස ජාතික වන උද්‍යානයට ඇතුල්වීම බලපත්‍ර රහිත ගිනි අවියක්‌ යොදාගනිමින් සතුන් දඩයම් කිරීම, අත්අඩංගුවේ සිටි සැකකරුවකු පැහැරගැනීමට රාජකාරියේ යෙදී සිටි වනජීවී නිලධාරීන්ට පහරදීම සහ වනජීවී දෙපාර්තමේන්තුවට අයත් දේපළවලට අලාභ හානි සිදුකිරීම යන චෝදනා යටතේ සැකකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබිණි.

සැකකාර ආදිවාසීන් වෙනුවෙන් නීතිඥ ජනක නිශාන්ත කුමාර මහතා මෙහිදී පෙනී සිටියේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.