එක්‌සත් ජාතීන්ගේ ආර්ථික හා සාමාජීය
කොමිසමේ තොරතුරු තාක්‍ෂණ කමිටුවේ
සභාපතිත්වය තෙවන වරටත් ශ්‍රී ලංකාවට


ශ්‍යාම් නුවන් ගනේවත්ත

එක්‌සත් ජාතීන්ගේ ආර්ථික හා සාමාජීය කොමිසමේ තොරතුරු තාක්‍ෂණ කමිටුවේ සභාපතිත්වය නැවත වරක්‌ ශ්‍රී ලංකාවට හිමිවෙයි.

පසුගියදා (05දා) කොළඹ පැවැති ආසියානු ශාන්තිකර කලාපයේ තොරතුරු තාක්‍ෂණ සමාජ ගොඩනැඟêමේ සමුළුවේදී ඒ සඳහා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ නම යෝජනා වූ අතර එය සියලු සාමාජික රටවල ඒකඡන්දයෙන් සම්මත විය. එක්‌සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජීය කොමිසමේ තොරතුරු තාක්‍ෂණ කමිටුවේ සභාපතිත්වය අඛණ්‌ඩව ශ්‍රී ලංකාවට ලැබුණු තෙවැනි අවස්‌ථාව මෙයයි. ශ්‍රී ලංකාව තොරතුරු තාක්‍ෂණ කේෂ්ත්‍රයේ ලබා ඇති ප්‍රගතිය සහ ජනාධිපතිතුමා එම ක්‍ෂේත්‍රයට ලබා දී ඇති දේශපාලන නායකත්වය මෙවැනි ගෞරවයක්‌ ශ්‍රී ලංකාවට ලැබීමට හේතු වූ බව එම ධුරය බාර ගනිමින් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ප්‍රකාශ කළේය. විශේෂයෙන් ඉ - ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) ක්‍රියාවට නැංවූ ව්‍යාපෘති මෙරට සෑම ක්‍ෂේත්‍රයකම විප්ලවීය වෙනසක්‌ ඇතිකර ඇතැයි ද ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන්නේය. කලාපීය වශයෙන් තොරතුරු තාක්‍ෂණය රට රටවල ජාතික සංවර්ධනය සඳහා භාවිත කළ යුතු අන්දම ගැන කරුණු අධ්‍යයන කිරීමට නව ධුරය උපරිම ලෙස භාවිත කිරීමේ හැකියාවද ඔහු පෙන්වා දෙන ලදී. සාමාජික රටවල් 25 ක සහභාගිත්වයෙන් කොළඹදී ආරම්භ වුණු මෙම සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කළේ නීතිපති ජනාධිපති නීතිඥ පාලිත ප්‍රනාන්දු මහතාය. තොරතුරු තාක්‍ෂණ භාවිත කරමින් රටවල් අතර නීති පද්ධති සහයෝගයෙන් පවත්වා ගෙන යැමේ හැකියාව නීතිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ පරිගණක හා ජංගම දුරකථන භාවිතය ඉහළ යැමත් සමග ජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් නව නීතිරීති පද්ධතියක්‌ පිහිටුවීමේ අවශ්‍යතාවද නීතිපතිවරයා පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ එ. ජා. ආර්ථික හා සාමාජික කොමිසම මෙම දෙදින සමුළුව සංවිධානය කළේය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.