රු. ලක්‍ෂ 80 ක බාල 'ග්ලවුස්‌' සිද්ධියේ
වරදකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් දෙන්න

වෛද්‍ය පරිපාලක සංගමයෙන් ලිපියක්‌

ඒමන්ති මාරඹේ

මෙරට ලියාපදිංචි නොකළ සමාගමකින් රජයේ රෝහල් සඳහා රුපියල් ලක්‍ෂ 80 ක්‌ වැය කර තත්ත්වයෙන් බාල ශල්‍ය අත් වැසුම් (ස(ර්)ජිකල් ග්ලවුස්‌) තොගයක්‌ ආනයනය කිරීමේ සිද්ධිය පිළිබඳව අපක්‍ෂපාතී පරීක්‍ෂණයක්‌ පවත්වා වරදකරුවන් වන අයට එරෙහිව තරාතිරම නොබලා දඬුවම් පමුණුවන්නැයි රජයේ වෛද්‍ය පරිපාලකවරුන්ගේ සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතාගෙන් ලිත ඉල්ලීමක්‌ සිදුකර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත සැප්තැම්බර් මස 18 වැනිදා යවන ලද ලිපියක්‌ මගින් වෛද්‍ය පරිපාලකවරුන්ගේ සංගමය මෙම ඉල්ලීම කර තිබේ. මෙම තත්ත්වයෙන් බාල ශල්‍ය අත් වැසුම් තොගය මෙරටට ගෙන්වීමට ඉහළ සෞඛ්‍ය නිලධාරියකු වගකිව යුතු නම් එය සෞඛ්‍ය ලේකම්වරයා ඇතුළු සමස්‌ත වෛද්‍ය පරිපාලකයන්ටම නරක නාමයක්‌ ගෙන දෙන තත්ත්වයක්‌ බවත් එවැනි නිලධාරියකුට එරෙහිව විනය පියවර ගෙන ඔහුව තනතුරින්ද ඉවත් කළ යුතු බවත් එම ලිපියෙහි සඳහන් කර තිබේ.

සෞඛ්‍ය ලේකම්වරයා අදාළ ශල්‍ය අත් වැසුම් ටෙන්ඩර් ගනුදෙනුවට අදාළ ටෙන්ඩර් ලිපි ගොනුව පරීක්‍ෂා කර බලා එහි වලංගුභාවය පිළිබඳ ජනතාවට පැහැදිලි ප්‍රකාශයක්‌ කළ යුතු අතර එම ගනුදෙනුවට සම්බන්ධ නිලධාරීන් හා ඒ සඳහා උපදෙස්‌ දුන් නිලධාරීන් මෙන්ම ලියාපදිංචි නොමැති සමාගමකට ටෙන්ඩරය පිරිනැමීමට තීරණය කළ බලධාරීන් පිළිබඳව ද රටට හෙළිදරව් කළ යුතු බව එම ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.