ගාස්‌තු ඉහළ යැම ජලය අරපිරිමැස්‌මට නැඹුරුවක්‌ කරගන්න
- ඇමැති දිනේෂ් ගුණවර්ධන

සිරිමන්ත රත්නසේකර

ජල ගාස්‌තු ඉහළ යැම ජලය අරපිරිමැස්‌මෙන් භාවිතයට ගැනීම සඳහා නැඹුරුවක්‌ කර ගන්නැයි ජල සම්පාදන හා ජලාපවහන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ජල පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක්‌ කළේය.

විශාල වියදමක්‌ දරා ජනතාව වෙත සපයන පිරිසිදු ජලය නිසි කළමනාකරණය කිරීම සෑම මිනිසකුගේම වගකීමක්‌ හා යුතුකමක්‌ බව මතක්‌ කළ ඇමැතිවරයා එසේ කිරීමෙන් තම ධනය ඉතිරිකරගත හැකි වනවා සේම වැඩිපුර පිරිසකට ජල අවශ්‍යතා සැපයීමට හැකිවීමක්‌ බව හෙතෙම සඳහන් කළේය.

ජල සම්පාදන හා ජලාපවහන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (21 වැනිදා) එම අදහස්‌ පළකළේ බත්තරමුල්ලේ පිහිටි එම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඇමැතිවරයා මෙසේ ද පැවැසීය.

පිරිසිදු පානීය ජලය නිපදවීමට යොදා ගන්නා සෑම අමුද්‍රව්‍යයකම මිල පසුගිය වසර කිහිපය තුළ වරින් වර ඉහළ ගියා. නමුත් අප පිරිසිදු පානීය ජලය සැපයීම සේවාවක්‌ ලෙස සලකා ජල ගාස්‌තු ඉහළ දැම්මේ නැහ. 2009 වසරේ සිට මෙම වසර දක්‌වා අප ජල ගාස්‌තු ඉහළ දැමීමට කටයුතු කළේ නැහැ.

විදුලිය, ඉන්ධන, රසායනික ද්‍රව්‍යවල, අනිකුත් යාන්ත්‍රික හා විවිධ ද්‍රව්‍යවල ඇති වූ මිල ඉහළ යැමෙන් නිෂ්පාදන පිරිවැය ඉහළ යැම, රුපියලේ අගය බාල්දුවීම හේතුවෙන් ඇති වූ තත්ත්වය මත පිරිසිදු පානීය ජලය නිෂ්පාදනය කිරීමට අතිරේක වියදමක්‌ දැරීමට ජල සම්පත් මණ්‌ඩලයට සිදුවුණා. ඒ නිසා මහජනතාවටත් දරාගත හැකිවන ලෙස මණ්‌ඩලයේ වියදමත් පියවාගත හැකි ලෙස ජල ගාස්‌තු යම් මට්‌ටමකට ඉහළ දැමීමට අප කටයුතු කළා.

ලීටර් 5000 ක්‌ පරිභෝජනය කරන අඩු ආදායම්ලාභී පවුල් සඳහා අප දිනකට වැඩිකර තිබෙන්නේ ශත 60 සිට රුපියලක්‌ දක්‌වා වූ අඩු මුදලක්‌ පමණයි. අප ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලය ජනතාවට ජලය ලීටර් 1000 ක්‌ සපයන්නේ රුපියල් පහක්‌ වැනි ඉතාමත් අඩු මුදලකට. නමුත් වෙළෙඳපළේ ජල ලීටරයක්‌ රු. 50 - 60 ත් අතර මිලක්‌ වෙනවා. ඒ අනුව ජලය ලීටර් 1000 ක්‌ සඳහා රුපියල් පනස්‌දහසක්‌, හැටදහසක්‌ වෙනවා. ජනතාවට පිරිසිදු පානීය ජලය සැපයීම අප රජය මහජන සේවාවක්‌ ලෙස සලකන නිසා වෙළෙඳපළේ විෂමතාවය කිසිවිටක සැලකිල්ලට ගන්නේ නැහැ.

අප ජල ගාස්‌තු ඉහළ නැංවීමේදී පාසල් දහසක්‌, රෝහල් එක්‌දහස්‌ පන්සීයක්‌, ආගමික ස්‌ථාන සහ පුණ්‍යායතන දහසකට වැඩි ප්‍රමාණයක්‌ නිදහස්‌ කර තිබෙනවා. ඒවාගෙම ස්‌වයංරැකියා ලාභීන්ටත් වැඩිකර ඇත්තේ ඉතාමත් අවම මිලක්‌ පමණයි.

මෙම අවස්‌ථාවට ජල සම්පාදන සහ ජලාපවහන අමාත්‍යාංශ ලේකම් ඒ. අබේගුණසේකර, ජල සම්පත් මණ්‌ඩලයේ සභාපති කරුණාසේන හෙට්‌ටිආරච්චි, සාමාන්‍යාධිකාරී ලාල් ප්‍රේමනාත්, ක්‍රියාකාරී අධ්‍යක්‍ෂ නිමල් පියසෝම, අතිරේක සාමාන්‍යාධිකාරි තොටවත්ත යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක්‌ එක්‌ව සිටියහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.